පලස්තීන ජන සංහාරය නවතන ලෙසට ක්‍රිස්තියානි රටවල නායකයන්ට ආයාචනයක් — ම‍ෙලනි මාන‍ෙල් ප‍ෙර‍ේරා 

 

පලස්තීනය තුළ සිදුකරන “ම්ලේච්ජ ජන සංහාරය නවතා දමන ලෙස ඉල්ලා සිටිමින්” සහ පලස්තීනය තුළ “ඝාතනයට ලක්වන පලස්තීන වැසියන් වෙත ශෝකය සහ අවධානය ප්‍රකාශ කරමින්”, මහ සිකුරාදා දින (29) කොළඹ දී නිහඩ උද්ඝෝෂණයක් සහ පලස්තීන තානාපති කාර්යාලයේ දී පහන් දැල්වීමක් පැවැත්විණි.

 
“ක්‍රිස්තුස්වහන්සේව ඝාතනය කළ දවස ලෙසට සැලකෙන මහසිකුරාදා දින අපි ශ්‍රී ලංකාවෙි ක්‍රිස්තියානි ප්‍රජාවක් ලෙසට ලෝකයේ බලවන්ත යැයි සැළකෙන , ක්‍රිස්තියානි රටවල් යැයි කියන ඇමරිකාව, බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර අධිරාජ්‍යවාධී රටවල්වලින් ඉල්ලා සිටිනවා, ඊශ්ශ්‍රායෙලය ශක්තිමත් කිරීම වහා නවතා දමා මෙි ම්ලේච්ඡ ජන සංහාරයට තිත තබන්න කියලා. ඔවුන් සිදුකරන්නේ “පලස්තීනය තුළ අදටත් ජේසුව ඝාතනය කිරීමක්” යැයි නිහඩ උද්ඝෝෂණයේ යෙදුණු බොහෝ දෙනෙකු ප්‍රකාශ කළහ.
 
කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී  මහසිකුරාදා  දින උදැසන පවත්වන්නට යෙදුණු “පලස්තීනයේ ජන සංහාරයට අපගේ දැඩි විරෝධය” යන නිහඩ උද්ඝෝෂණය සහ පලස්තීන තානාපති කාර්යාලයේ දී සිදුකළ “මරාදැමු අහිංසක වැසියන් වෙත අපගේ ශෝකය” යන සිහිකිරීම ශ්‍රී ලංකාවේ කිතුසර කණ්ඩායම විසින් සංවිධානයකර තිබුණි.
 
කුඩා කණ්ඩායමක් වශයෙන් පවත්වන්නට යෙදුණු “පලස්තීනය සහ පලස්තීන වැසියන්” සිහිකරනු ලැබූ මෙම අවස්ථාවට කිතුනු පූජක , පැවිදි සහ ගිහි නියෝජිතයින් සහභාගී වූහ.  
 
“ජේසුස් වහන්සේ ඝාතනය කළ පලස්තීනයේ අද සිදු වූ ජන සංහාරයට අපේ විරෝධය”, “ශ්‍රී ලංකාවේ මුල්ලිවයික්කාල් – පලස්තීනයේ  ගාසා”, “පලස්තීනය‍ේ අරගලයට අපගේ සහය” , ” අපි පලස්තීනය සමග සහයෝගීතාවයෙන් සිටිමු” , ” ඊශ්‍රායල් රාජ්‍යය! ජන සංහාරය වහා නවත්වන්න!” යනාදී වශ‍ය‍ෙන් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ලිඛිත සටන් පාඨ සහිත පුවරු අතැතිව සියලු දෙනා නිහඬ විරෝධතාවයට සහභාගි වූහ.
 
එදා ජේසුගේ ඝාතනය සිදුවුණු පලස්තීනයේ අදත් සිදුවෙමින් පවතින මහා ජන ඝාතනයට කිතුනු අපගේ විරෝධය පලකරන්නත්, එසේ නීච ලෙස ඝාතනයට පාත්‍රවන පලස්තීන වැසියන් වෙත අපගේ ශෝකය සහ දයාව ප්‍රකාශකරන්නත් තමයි මේ නිශ්ශබ්ද විරෝධතාව සහ පලස්තීන තානාපති කාර්යාලය තුළ දී පහන් දැල්වීමක් සිදුකළේ යැයි කිතුසර කණ්ඩායමේ කැඳවුම්කරුවකු වූ ෂෙරාඩ් ජයවර්ධන පියතුමා ‍ම‍ෝජ‍ෝ පුවත් ‍ව‍ෙත ප්‍රකාශ කළේය. 
 
වසර 70 ගණනක් ඊශ්ශ්‍රායලය විසින් පලස්තීන දේශය ආක්‍රමණය කරමින් සිටින බවත් ඊශ්ශ්‍රායලය පෝෂණය කරන ඇමරිකාව ප්‍රමුඛ බලවත් රටවල් සිය අධිරාජ්‍යවාධය ලෝකයේ අනෙක් රටවල්වලත්  ක්‍රියාත්මක කරවන බවත්, ශ්‍රී ලංකාවෙත් මුල්ලිවෛක්කාල් පිටුපස ක්‍රියාත්මක වුණේ ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාධය බවත් ප්‍රකාශ කළ ෂෙරාඩ් ජයවර්ධන පියතුමා,” ඊශ්ශ්‍රායල රජයෙන් අපි ඉල්ලා සිටිනවා, මේ ආක්‍රමණය දැන්වත් නවත්වන්න කියලා. බලවන්ත රටවලින් අපි ඉල්ලා සිටිනවා ජනසංහාර සඳහා ඊශ්ශ්‍රායලය ශක්තිමත් කිරීම, ඊශ්ශ්‍රායලයට ආශීර්වාද කිරීම දැන් නවත්වන්න කියලා”.

 
මෙහිදී ඇන්ගිලිකාන සභාව‍ෙි  මාරිමුත්තු සත්‍යවේල් පියතුමා දෙමළ භාෂාවෙන් අදහස් ප්‍රකාශ කරමින් ගාසා සංහාරයට විරෝධතාවත් මරාදමන පලස්තීන වැසියන් හට ශෝකයත් පළකළ අතර ක්‍රිස්තියානි කාන්තා හඩ ව්‍යාපාරය නියෝජනය කරමින් එක්වූ දීපා ප්‍රනාන්දු ශු.ප.පැවිදිය සොයුරිය ද පලස්තීන ජනතාව වෙත ශෝකය සහ අවධානය යොමුකළේය.

“පලස්තීනයේ ජනතාව වෙනුවෙන් මෙසේ පෙනී සිටින්නේ මන්ද යන්න පිළිබඳව බොහෝ අය ප්‍රශ්නකරන බව සඳහන්කළ දීපා පැවිදි සොයුරිය, අපි සැබෑ ක්‍රිස්තියානි ජනතාවක් නම් අපි අනුගමන කරන ක්‍රිස්තුස්වහන්සේගේ ජීවිතය සැබෑ ලෙස අනුගමනය කළ යුතු බවත්, ක්‍රිස්තුස්වහන්සේ ගේ ජීවිතය සමස්ත ජනතාව වෙනුවෙන් ම වැය කළ නිසාත් , පූජාකළ නිසාත් අපිත් එසේ කළ යුතු යැයි පැවසීය”.
“තරාතිරම නොබලා, වෙනස්කම් නොසොයා, සැබෑලෙස අපි ක්‍රිස්තිනි ජීවිතයට සාක්‍ෂී දැරීම අවශ්‍ය යැයි” ප්‍රකාශ කළ දීපා ප්‍රනාන්දු පැවදි සොයුරිය, මෙි මොහොතේ මිනිසා පීඩාවට , දුක්විඳීමට පත්වන තැන කිතුනු අප සිටගත යුතු යැයි පැවසීය.

“මම හිතුවා මගේ සැබෑ කිතුනුකම, අද මහසිකුරාදා දවසේ කුරුසපත්වන පලස්තීනයේ දුක්විඳින ජනතාව සමග බෙදාගත යුතුයි කියලා. පලස්තීනය‍ේ සිදුකරන ම්ල‍ේච්ඡ ඝාතන කිතුනුවන් විධියට අපිට අනුමත කරන්න බැහැ” යැයි විශ්වවිද්‍යාල සිසුවෙකු වන සඳරූ ඩයස් ම‍ෝජ‍ෝ  පුවත් වෙත පැවසීය.

 
පැයක පමණ නිහඩ විරෝධතාවයේ යෙදුණු පිරිස, පසුව පලස්තීන තානාපති කාර්යාලයට ගොස් කෙටි යැදුම් මෙහෙයකින් අනතුරුව රුදුරු ජන සංහාරයෙන් ජීවිත අහිමි කළ සියලු පලස්තීන වැසියන් ඉටිපහන් දල්වා සමරුනු ලැබුණු අතර, එය “ඉතාම හෘදයාංගම ක්‍රියාවක්” ලෙසට පලස්තීන තානාපති කාර්යාලය විසින් පිළිගනු ලැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *