ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සෙංකඩගල වෙසක් කලාපය මෙවරත් මහනුවර දී.. – නදීක දයා බණ්ඩාර
ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් සෙංකඩගල වෙසක් කලාපය උත්කර්ෂවත් අන්දමින් මෙවරත් මහනුවර නගරය කේන්ද්‍ර කොට පැවැත්විමට තීරණය වී තිබේ.
වෙසක් දිනයට සමගාමීව සතියක් පුරා සෙංකඩගල වෙසක් කලාපය ක්‍රියාත්මක වන අතර ඒ යටතේ පිණ්ඩපාත චාරිකා, වැඩිහිටි සත්කාරක වැඩසටහන්, දන්සැල්, වෙසක් පහන් කූඩූ තරඟ, බැති ගී සංදර්ශන, ඇතුළු වැඩටහන් රැසක් පැවැත්වේ.
මැයි මස 23 හා 24 වෙසක් දින ආවරණය වන පරිදි වෙසක් කලාපය ක්‍රියාත්මකය.
සෙංකඩගල වෙසක් කලාපය ගැන සාකච්ඡාවක් සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (27) පැවැත්විණි..
අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමි හා මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන්ගේ අනුශාසනා පරිදි මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි මහා විහාර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය, මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී දළදා මාලිගාව හා සිව් මහා දේවාල, ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඇතුලු ආයතන රැසකගේ දායකත්වයෙන් මෙම වෙසක් කලාපය ක්‍රියාත්මකය.
වෙසක් කලාපය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.