කඳුකර දශකය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89ක් සංවර්ධනයට පියවර නදීක දයා බණ්ඩාර

කඳුරට දශකය  විශේෂ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ මහනුවර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89ක් සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මක මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක යැයි ඒ මහතා තව දුරටත් පැවසුවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (14) පැවැති  මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය. කඳකර දශකය සංවර්ධන සැලැස්ම යටතේ මහනුවර දිස්ත්‍රික්කයේ සැලසුම් පිළිබදව දැනුවත් කරමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

මහනුවර, මාතලේ, නුවරඑළිය, බදුල්ල, මාතර, ගාල්ල, කළුතර, කුරුණෑගල, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක මෙම සංවර්ධන සැලැස්ම යටතේ ආවරණය වන බව අමාත්‍යවරයා කීවේය. මෙම සමස්ථ වැඩසටහන සඳහා රුපියල් මිලියන 10 000ක මුදලක් ඇස්තමේන්තු ගත කොට ඇතැයි ද ඒ මහතා කීහ.

මෙම වැඩසටහන යටතේ ජීවනෝපාය හා ආහාර සුරක්ෂිතාව, වෙළඳ පොල සංවර්ධන, අධ්‍යාපන, පානීය ජල සැපයුම, ප්‍රවේශ මාර්ග පහසුකම්, කෘෂි හා සුළු වාරි මාර්ග, විදුලිය හා පුනර්ජනනීය බලශක්තිය, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ඇතුලු නිර්ණායක දහසක් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මකය.

ඒ අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති යෝජනා මේ වන විට සැලසුම් කර ඇති අතර මෙම මස අවසානය දක්වා එහි සංශෝධන සිදුකර ගත හැකි යැයි ද රණතුංග මහතා කීහ.

 ප්‍රාදේශීය හා දිස්ත්‍රික් කමිටු මගින් එම ව්‍යාපෘති සමාලෝචනය කළ හැකි යැයි කී ඒ මහතා එම කමිටුවලින් විසඳා ගත නොහැකි ගැටලු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික කමිටුවට ඉදිරිපත් කළ හැකි බවත් මෙම වර්ෂයේ ඔක්තෝබර් 31 වන විට සංවර්ධන ව්‍යාපෘති අවසන් කිරීමට සැලසුම් කොට ඇතැයි ද වැඩිදුරටත් කීවේය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස්.සත්‍යානන්ද, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, මහනුවර දිස්ත්‍රික් සැලසුම් හා ක්‍රමසම්පාදන අධ්‍යක්ෂ රම්‍යා විජේසුන්දර යන මහත්ම මහත්මීන් ප්‍රාදේශීය ලේකම්වරු, ආයතන ප්‍රධානනීන් ඇතුලු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *