මධ්‍යම පළාතේ සියලුම පාසල් වෑන් හා බස් රථ නියාමනයට පියවර නදීක දයා බණ්ඩාර – මහනුවර

පාසල් දරුවන් ප්‍රවාහනය කරන මධ්‍යම පළාතේ සියලුම බස් හා වෑන් රථ නියාමනය කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පවසයි.
පාසල් නිවාඩු මාසයේදී සම්පූර්ණ ගාස්තු ගෙවිය යුතු බවට වාහන හිමියන් දෙමාපියන්ට කළ දැනුම්දීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කළ සාකච්ඡාවේදී ප්‍රධාන ලේකම්වරයා මේ බව දැනුම් දුන්නේය.
වාහන හිමියන් සම්පූර්ණ ප්‍රවාහන ගාස්තුව ඉල්ලා සිටින බව දෙමාපියන් පසුගිය සම්බන්ධීකරණ කමිටුවට ලිඛිත දැනුම්දීමක් කර තිබුණු අතර එහි ප්‍රගතිය විමසා බැලීමේදී මධ්‍යම පළාතේ වෑන් හා බස් රථ රැසක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ලියාපදිංචිවී නොමැති බව අනාවරණය විය.
ලියාපදංචිවී ඇති 400ක් පමණ වන වෑන් හා බස් රථ සඳහා සම්පූර්ණ ගාස්තුව අය නොකරන ලෙස දැනුම් දුන් නමුත් ඊට වඩා වැඩි වාහන ප්‍රමාණයක් ලියාපදිංචියෙන් තොරව දරුවන් ප්‍රවාහනය කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මධ්‍යම පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී යූ.ආර්.ආරියංවශ මහතා ප්‍රකාශ කළේය.
ලියාපදිංචි වෑන් හා බස් රථ සම්බන්ධයෙන් ප්‍රවාහන අධිකාරියට උපදෙස් ලබා දිය හැකි නමුත් සෙසු වාහන සම්බන්ධ නීතියානුකූල තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා එහිදී අදහස් පළ කරමින් ලියාපදිංචි නොමැති සියලු බස් හා වෑන් රථ නියාමනය කිරීමට හැකි විධිවිධාන යොදන බව එහිදී ප්‍රකාශ කළේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.