ශ්‍රී ලංකාවේ වර්ථමාන ආර්ථීක පීඩනය හමුවේ දැඩි ආර්ථීක අපහසුතාවන්වලට මුහුණ දෙමින් සිටින ජනකොටසක් වන වතුකරයේ පවුල්වල, පාසැල් දරුවන් වෙත අභ්‍යාස පොත් බෙදා දෙමින් වතුකරයේ ජනතා හඩ සංවිධානය විසින් මෙවර දෙමළ තෛයිපොන්ගල් උත්සවය සැමරූහ. කතෝලිකයින් වශයෙන් මෙම කර්තව්‍යයේදී සංවිධායකයින් දේව සංරක්ෂණය අතීශයින් අත්දැක්ක බවත් පොතපත් තෑගි ලැබුණු දරුවන් වඩාත් සතුටු වූ බවත් සංවිධායකයෝ ප්‍රකාශ කළහ.
“පාසැල් පෙළ පොත් ආණ්ඩුවෙන් නොමිලේ බෙදා දුන්නාට අනෙක් සියලුම අභ්‍යාස පොත් සහ මකන කැබැල්ලේ සිට අවශ්‍ය සියලු ලිපි ද්‍රව්‍ය දෙමාපියන් සැපයිය යුතුයි. නමුත් , මේ ජනතාව පවතින දැඩි ආර්ථීක පීඩාවට මුහුණ දෙන්නට නොහැකිව සිටින අවධියක, අධික ලෙස මිළ ඉහළ ගොස් පවතින පාසැල් පොත් පත් මිළදී ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය වුණා මේ දරුවන්ට සම්පූර්ණ වශයෙන් නොවූණත් මිළ අධික පොත්පත් ත්‍යාග කරමින් අපගේ තෛයිපොන්ගල් උත්සවය සමරන්නට” යැයි වතුකරයේ ජනතා හඩ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක ඇන්තනි ජේසුදාසන් මෝජෝ පුවත් සේවයට ප්‍රකාශ කළා.
තෛයිපොංගල් යනු හින්දු හෝ කිතුනු භේදයකින් තොරව සියලුම දෙමළ ජනයා විසින් සමරනු ලබන සම්ප්‍රදායික අස්වනු උත්සවයයි. නමුත් එය තරමක් දුරට හින්දු භක්තිකයන් සඳහා ඔවුන්ගේ චාරිත්‍රානුකූලව විශේෂිත වේ. දෙමළ හින්දු භක්තිකයන් සූර්යයා, ගවයා සහ සොබාදහමට කෘතඥ වන්නා සේම, කිතුනුවන්ට යේසුස් වහන්සේ සූර්යයා සහ ස්වභාවයයි.
මේ වසරේ තෛපොංගල් උත්සවය ජනවාරි 16 වැනිදා සමරනු ලැබු අතර, වතුකරයේ ජනතා හඬ සංවිධානය ඔවුන්ගේ තෛපොංගල් උත්සවය සැමරීම සඳහා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විවිධ වතු තුනක් තෝරා ගන්නා ලදී.
තෛයිපොන්ගල් සතුට බෙදාගනිමින්, පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා තේ වතු තුනක දෙමළ සිසුන් 145 දෙනෙකුට සංවිධානය විසින් “පොත් තෑගි” ලෙස තිළිණ කරන ලදී.
“ඇත්තටම අද දවස වන විට ශ්‍රී ලංකාවේ ආර්ථීකය සමස්ත රටේ ජනතාවට අත්කර දී තිබෙන්නේ ඉතාම තදබල පීඩනයක්. දරාගන්න බැරිතරම්. මේ පීඩාව ඉතාම විශාල වශයෙන් වතුකරයේ ජනතාවට බලපානවා. ඔවුන් වෙනුවෙන් වැඩකරන සංවිධානයක් විධියට අපිට අවශ්‍යවුණා දරුවන්ට අවශ්‍යකරන පාසැල් පොත් තෑගී වශයෙන් ලබාදීලා ඔවුන්ට තෛයිපොන්ගල් ප්‍රීතිය අත්කර දෙන්නට” යැයි වතුකරයේ ජනතා හඩ සංවිධානයේ වැඩසටහන් අධ්‍යක්ෂිකා ලවීනා හසන්ති පැවසීය.
“අලුතෙන් ආරම්භ කරන ලද සංවිධානයක් ලෙස අපටත් මේ මොහොතේ අන් අයට උදව් කිරීමට එතරම් ආර්ථික ශක්තියක් නොමැති නමුත් මෙම තෛයිපොංගල් උත්සවයේදී දකුණේ තේ වතුයායේ සහෝදර සහෝදරියන්ට කුඩා සැනසීමක් ලබා දීමට අපට ඔිනේ වුණා. ඉතින් මේ අත්‍යවශ්‍ය මොහොතේදී අපි සංවිධානයේ නිළධාරීන් කතෝලිකයින් විධියට වතු සිසුන්ට පොත් තෑගි කරන මේ කාර්යය ක්‍රියාවට නංවා ගන්නට දෙවියන්ගේ පිහිට ඇත්තටම අපි අත්වින්දා” යැයි ලවීනා හසන්ති පැවසුවාය.
“වතුකරයේ ජනතාව වෙනුවෙන් අලුතින් විවෘත කරන ලද අපගේ කාර්යාලයට සුභ පතන්නන් වශයෙන්, ඉතාලියේ සිට එක් ශ්‍රී ලාංකිකයෙකු සහ ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙකු සහ “ශක්තියක් අවශ්‍ය පුද්ගලයින් සඳහා වන ශක්තිය පදනම” සහ ශ්‍රී ලංකාවේ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකුවම ගෞරවයෙන් යුතුව සිහිපත් කිරීමට මම කැමතියි. මොකද, පොත් තෑගි පාර්සල් බෙදා දීමේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ඔවුන් සියලුම දෙනා අපිට නිර්ලෝභීව උදව් කළා.” යැයි වැඩසටහන් අධ්යක්ෂ ලවීනා මහත්මිය පැවසුවාය.
“ඔවුන්ගේ උදව් නොලැබුණා නම් මෙම අවශ්‍යතාවය සිහිනයක් පමණක් වනු ඇති. ඉතින්, දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තබාගෙන අපි ඔවුන්ගෙන් විමසු විට, අපගේ ඉල්ලීම ප්‍රතික්ෂේප නොකර ඔවුන් අපට උදව් කළා. උන්වහන්සේගේ මෙම කරුණාවට අපි ස්වාමින් වහන්සේට ස්තූතිවන්ත වෙනවා” යැයි ඇය පැවසුවාය.
දියදාව වතුයායේ ජීවත්වන සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන ඇතැම් සිසුවියන් අදහස් දක්වමින් කියා සිටියේ, මේ කරදරකාරී කාල වකවානුවේදී මෙවැනි වටිනා තිළිණයක් පිරිනැමීම පිළිබඳව වතුකරයේ හඬ ජනතා සංවිධානයට ස්තුතිය පුද කරන බවයි.
“මේ උදව්ව, මේ කාලය තුළ අපට අමතක නොවන තෑග්ගක්” යැයි ඔව්හු කීහ.