ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් ඉදිරිපත් කිරීමට ජල සම්පාදන අමාත්‍යංශයේ සැලසුම් නදීක දයා බණ්ඩාර

ජල ගාස්තු සඳහා මිල සූත්‍රයක් හදුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

විදුලි බිල පහත දැමීමට සමගාමීව ජල ගාස්තු අඩු කිරීමට හැකි මිල සූත්‍රයක් පිළිබදව ජාතික ජල සම්පාදන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුවේ උපදේශකයන් සමඟ සාකච්ඡා කොට මෙම මිල සූත්‍රය සකස් කරන බව අමාත්‍යවරයා කීවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය  ජල පර්යේෂණ හා තාක්ෂණ ආයතනයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා, ලබන මාසයේදී විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බවත් ඊට සමගාමීව ජල ගාස්තු ද පහළ හෙළීමට හැකි යැයි ජල සම්පාදන අමාත්‍යවරයා කීවේය.

බලශක්තිය සඳහා වැය වන පිරිවැය අඩු කිරීම මගින් ජල සම්පාදන පිරිවැය අඩුවී ජල ගාස්තු අඩු කළ හැකි යැයි ද ඒ මහතා පැවසීය. 2019 ජනවාරි මසදී විදුලි ගාස්තු 66%කින් ඉහළ ගිය විට ජල ගාස්තු ද ඉහළ නැංවිය යුතු යැයි සඳහන් කළ බව කී ඒ මහතා විදුලි බිල 50%කින් අඩු කිරීම මගින් ජල ගාස්තු ද සැලකිය යුතු මට්ටමකින් පහත හෙළිය හැකි යැයි කීවේය.

ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මේ වන විට මිදෙමින් ඇතැයි පෙන්වා දුන් හෙතෙම ශ්‍රී ලංකාව යථා තත්ත්වයට යොමු කරන මාවතක ගමන් ගන්නා බව ද කීවේය. ගෝලීය පරිමාණයෙන්, මෙම කලාපයේ ප්‍රකෘතිමත් ආර්ථිකයක් හිමි රටක් බවට ශ්‍රී ලංකාව පත්වෙමින් පවතින බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඇතමුන් ජනාධිපතිවරණයක් ද තවත් පිරිසක් මහ මැතිවරණයක් ද ඉල්ලා සිටින නමුත් කුමන මැතිවරණක් එළැඹියත් ඔනෑම මැතිවරණයකට උචිත අයුරින් ශ්‍රී ලංකාව දැන් ගොඩනැගෙමින් ඇතැයි ද ඒ මහතා කීහ. පැය ගණන් විදුලිය විසන්ධි වූ, ගෑස්, ඉන්ධන ලබා ගැනීමට පෝලිමේ සිටි යුගය නිමා වී ප්‍රකෘතීමත් ආර්ථීකයක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

වතුකරයේ ජනතාව සඳහා ඉඩම් අයිතිය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු යොදා ඇතැයි කී තොණ්ඩමන් අමාත්‍යවරයා, ඉඩම් හිමිකම වෙනුවෙන් රුපියල් බිලියන 04ක මුදලක් වෙන් කොට ඇතැයි කීහ. කඳුරට මෙහෙයුම යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89ක් සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කොට ඇතැයි ද වතුකරයේ නිවාස දස දහසක් ඉදිකිරීමට නියමිත යැයි ද පෙන්වා දුන්නේය.

කන්ද උඩරට සංචාරක ව්‍යාපාරය යළි ස්ථාපිත කළ යුතු යැයි සඳහන් කළ අමාත්‍යවරයා, නව විශ්ව විද්‍යාලයක් උඩරට ඉදිකිරීමට නියමිත යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed