DC8 සප්තකණ්‍යා සිපගෙන වසර 49යි – චන්දන ජයවීර

 

“කන්දේ හැපුණ මහ වනන්තරේ
ඩීසි 8 ගුවන් යන්තරේ
මරුවා කල මිතුරේ
බේරෙන්න බෑ සසරේ
කාගෙද මට වරද නොතේරේ“

මේ ගීතය දසක හතරකට ඉහත දී මෙරට ගීත ක්ෂේත්‍රයට එක් වුවත්, අදට ද නොනැසුණු ජනප්‍රියත්වයකට හිමිකම් කියයි. එම ගීතය නිර්මාණය වීමට හේතු පාදක වූ සිදු වීමට මේ වන විට වසර හතළිස් නවයක් සපිරේ. එය මෙරට බරපතළ ම ගුවන් අනතුර ලෙස වාර්තා වන බැවින්, අපි ඒ පිළිබඳ මතකය සහ ඒ සිදුවීම අත්විඳ ඇති පුද්ගලයන්ගේ මතකය අවදි කරන්න සිතුවෙමු.
ඒ අනුව අපි නුවරඑළිය දිස්ත්‍රික්කයේ, අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඒ සුන්දර පරිසරය වෙත පිය නැඟුවෙමු. මෙරට ප්‍රථම ජලවිදුලි බලාගාරය වන විමලසුරේන්ද්‍ර ජල විදුලි බලාගාරය පිහිටි නොර්ටන් බ්‍රිජ් නගරය පසු කර, බිංදුව කණුව පිහිටි ‘ඩබල් කටින්’ නම් මංසන්ධියෙන් වමට හැරී ඉදිරියට ගමන් කරන විට, අලංකාර ලක්ෂපාන දිය ඇල්ල දක්නට ලැබේ. එම මාර්ගයේ ඉදිරියට ඇදෙන විට දකුණු පසින් අපට ඒ මනරම් කඳුවැටිය දැකිය හැකිය. එක පෙළට පිහිටා ති‌බෙන කඳු හතක් නිසා ඕ, ‘සප්ත කණ්‍යා’ නම ලැබුවාය.
දවසේ වැඩි කාලයක් මිහිදුම් සළුවක සැඟවී සිටින සුන්දර කදු වැටියක් සේ ම, කඳු තරණය කරන්නන්ගේ පාරාදීසයක් වූ සප්තකණ්‍යා කඳු වැටිය, එදවස ලොවම කම්පා කළ හා බහුතරයකගේ නෙතට කඳුලක් එක්කල මතකයකට හේතු පාදක විය.
ඒ 1974 දෙසැම්බර් හතර වැනිදාය. දවස බදාදාවකි. වෙලාව රාත්‍රි 10.10 පමණ විය. ප්‍රදේශයම ගිනියම් කරමින්, දෙදරුම් හඬ නගමින් DC8 නම් ගුවන්යානය සප්තකණ්‍යා කඳු වැටියේ සිව්වැනි කන්දේ ගල් පර්වතයක ගැටිණි. ඉනිදුනීසියාවේ සිට මක්කම බලා ඉස්ලාම් බැතිමතුන් රැගෙන යමින් සිටි මේ ගුවන්යානය මෙලෙස අනතුරට පත්ව තිබිණි; එහි ගමන් ගනිමින් සිටි පුද්ගලයන් 191කගේ ජීවිත මරු තුරුලට යැවිණි. ඔවුන්ගේ ශරීර, කැබැලි බවට පත්වී, ගස්, ගල් උඩ විසිරී තිබිණි.
පසු දින සිට ආරක්ෂක අංශ, දේශීය මෙන්ම විදේශීය ජනයාගෙන් මේ ප්‍රදේශය පිරී ඉතිරී ගියහ. ඔවුන්ගේ ඥාතීන්, මිතුරන් පැමිණ හැඬූ කදුලින් සිය මව, පියා, සහෝදර සහෝදරියන් සෙවූ නමුත්, කිසිවෙකු හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයට පත්ව තිබිණි. එම පිරිස අතර කාන්තාවන් 59ක් සිටි බව පසුව අනාවරණය විය. මියගිය පිරිසගේ ශරිර කොටස් එකතු කර කඳුවැටිය පාමුලම මිහිදන් ‌කෙරිණි. එය සිහි ගැන්වීමට ස්මාරකයක් ද ඉදි කෙරිණි. ගුවන්යානය පිපිරී යෑමත් සමඟ විසිරී ගිය ගුවන්යානයේ කොටස් හා රන් ආභරණ, මුදල් ඇතුළු නොයෙකුත් ද්‍රව්‍ය එම ස්ථානය නැරැඹීමට පැමිණි පිරිස් අහුලා ගෙන ගියෝය. එලෙස රැගෙන ගිය ගුවන්යානයේ කොටස් තවමත් ඇතැම් පුද්ගලයන් සන්තකයේ පරෙස්සම්ව තිබෙනු දැකිය හැකිය.
ඒ අතර ගුවන්යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිස් ස්ථානය ඉදිරිපිට තැන්පත් කර තිබෙන අයුරු දැකිය හැකිය. ගුවන්යානයේ දොර පියනක කොටසක් හා තවත් කොටස් කිපයක්, කිපදෙනෙකු සන්තකයේ තිබියදී දැක ගත හැකි විය.
එහිදි හමුවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දෙදෙනෙක් සිය අත්දැකීම මෙසේ පැහැදිලි කළහ.
ගම්ලත් රාළලාගේ පුංචිසිඤ්ඤෝ නමැති කෙතේතැල්ලෙන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර, විශ්‍රාම ලබා, වෙළෙඳසැලක් පවත්වාගෙන යන්නෙකි. ඔහු, 1941 ජුනි මාසයේ උපත ලැබුවෙකි.
“මං ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිබලාගාරයේ වැඩ කරමින් සිටියේ. රෑ 10.15ට වගේ පොළොව හෙල්ලුණා. මං රෑ ගෙදර ආවේ නෑ. පහුවදා උදේ මං එද්දි හමුදාවේ පිරිසක් හම්බ වුණා. ඒ අයත් එක්කම ගල යටට ගියා. යද්දි දැක්කෙ, මස් කඩයක වගේ මිනිසුන්ගේ කෑලි ගස්වල එල්ලෙනවා. මට ඒක බලන්න බෑ. මං ගෙදර ගියා. දවස් දෙක තුනකට පස්සේ ආයේ ආවා. එතකොටත් හොයන්නේ කලු පෙට්ටිය. මං, හමුදාවේ පිරිසත් එක්ක ගල මුදුනට ගියා. ඒ ගිය වෙලාවේ ගලක් යට තියෙන කොටසක් පෙන්නුවා. පස්සේ කඹයක් දාලා හමුදාවේ අය මාව එතන්ට බැස්සුවා. ඒක කලු පෙට්ටියේ කෑල්ලක්. එතැනදි මාව ලිස්සලා ගිහින් ගහක රැඳුණේ. කලු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටස හොයලා දුන්නෙත් මං.
එවකට ශ්‍රි ලංකා යුද්ධ හමුදා නිත්‍ය බළකායේ පළමු වැනි ගැමුණු රෙජිමේන්තුවේ, දියතලාව කදවුරේ රියැදුරෙකු වශයෙන් සේවය කරමින් සිටි නිමල් ද සිල්වා මහතා විසින් සිය අත්දැකීම මෙසේ විස්තර කරන ලදි. මේජර් ලකි අල්ගම මහතා සහ තවත් නිලධාරීන් නිපදෙනෙක් ද සමඟ සේබළුන් 50කට වැඩි පිරිසක් අවා කොත්තැල්ලෙන ප්‍රදේශයට. අපට පැවරිලා තිබුණු ප්‍රධාන රාජකාරිය වුණේ, අනතුරට පත් ගුවන්යානයේ කලු පෙට්ටිය සොයා ගන්න එක.
කොත්තැල්ලෙන විද්‍යාලයේ කඳවුරු බැඳගෙන, පහුවදා ඉඳලම අපි රාජකාරි ආරම්භ කළෙමු.
“ඒ ගුවන්යානය පිපිරි යෑමත් සමඟ විසිරී ගිය ගුවන්යානයේ කොටස් හා රන් ආභරණ, මුදල් ඇතුළු නොයෙකුත් ද්‍රව්‍ය එම ස්ථානය නැරැඹීමට පැමිණි පිරිස් අහුලාගෙන ගිය බවට පැතිර ගිය ප්‍රචාරය මට මතකයි. ඒ ගුවන්යානයේ ටයරයක් නොර්ටන් බ්‍රිජ් පොලිස් ස්ථානය ඉදිරිපිට තැන්පත් කර තිබෙනවා. තවත් එකක් දියතලාව යුද්ධ හමුදා ගැමුණුහේවා බල ඇණිය මුලස්ථානයේ සිහිවටනයක් විදියට තැන්පත් කර තිබුණා. ඒ මෙහෙයුම දින ගණනාවක් ම සිදු කළා. සම්පුර්ණ කලු පෙට්ටිය හොයාගන්න බැරි වුණා. දින කිපයකට පස්සේ ගල මුදුනට ගියා. ඒ් වෙලාවේ ගලක් යට තියෙන කොටසක් දැකලා කඹයක් දාලා හමුදාවේ අය එතැනට බැස්සා. ඒක කලු පෙට්ටියේ කෑල්ලක්. ඒ විදියට හොයා ගන්න පුළුවන් වුණේ කලු පෙට්ටියේ ඉතිරි වුණ රෝල් කොටසක් විතරයි. ඒක සිල්වර් පාටයි.
සෙබළු උදේ කන්ද නගින්න ගියාම එන්නේ හොඳටම හවස් වෙලා. ආවාම ඉතිං ගීත මුමුණනවා. ඒ කාලේ ජනප්‍රිය ගීතයක් විදියට, ” එදා රෑ ගුවන් තොටුප‌ළේදී මා- වෙන්වී ගියේ – සිතකින් නොවේ” කියන ගීතය හඳුන්වන්න පුළුවන්.”
එම සිදුවීම පිළිබඳ ජනප්‍රවාදයේ පවතින කතා රැසකි. ඒවාට අනුව කන්දේ තියෙන්නේ බට පඳුරුය. ඒවා එම අවස්ථාවේ ගිනි ගන්න ඇතැයි සිතිය හැකිය.
එම ස්ථානයට යුද්ධ හමුදාවේ හෙලිකොප්ටරයක් පැමිණි බවත්, එය තේ දලු මඩුව ළඟ ගොඩ බස්සවා තිබේ. එතැන සිටි සත්තිවේල් නමැති පුද්ගලයෙක් අත් දෙකෙන් සංඥා කොට හෙලිකොප්ටරය දලු මඩුව ළඟ පිට්ටනියේ ගොඩබැස්ස වීමට මඟපෙන්වා තිබේ. ඒ නමුත් එය නැවත ගුවන්ගත කිරිමට නොහැකි වී තිබිණි. ඒ, එහි වූ කාර්මික දෝෂයක් හේතුවෙනි. පසුව ලන්සි පුද්ගලයෙක් පැමිණ, දින කීපයකට පසුව යථා තත්ත්ත්වයට පත් කර ඇත. ගමේ ජනතාව ඔහුට උදවු කළ බවත් බවසයි.ඒ වෙනුවෙන් ඔවුන් ගමේ පිරිසට සුදු ලාම්පුතෙල් බෝතල් තුන බැගින් දී තිබේ.
එම අනතුට 49 වසරක් ගෙවෙන නමුත්, තවමත් එම ප්‍රදේශයේ වෙසෙන පැරැණි පුද්ගලයන්ට එය අද ඊයේ සිදු වුවා වාගේය. එමෙන්ම ගුවන්යානයෙන් විසිරුණ කොටස් මතක සටහන් ලෙස බොහෝ නිවෙස්හි තබා ගෙන සිටිති. ඇතැම් වර්ෂවලදී මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් එම මෘත දේහ මිහිදන් කළ ස්ථානයට පැමිණ, ඔවුන් සිහි කර, ආගමික වතාවත් කරන බවද ප්‍රදේශවාසීහු පවසති.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *