විනය විරෝධීව හැසිරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අසුනෙන් නෙරපීමේ පනතක් ඉදිරියේදී – නදීක දයා බණ්ඩාර

දැඩි විනය විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ධූරය අහෝසි වන වගන්තිවලින් යුක්ත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත කරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විනය ගරුක විය යුතු වුවත් තනතුරේ ගෞරවය රැක ගැනීමට නොහැකි සහ නීති විරෝධී කාර්යයන්හි යෙදී ඇත්නම් ස්වාධීනව පත්කරන කමිටුවක් මගින් දඩුවම් කිරීමට නව නීතිය මගින් හැකි වනු ඇතැයි අමාත්‍යවරයා තව දුරටත් පැවසීය.
මහනුවරට ඊයේ (19) පැමිණි අධිකරණ අමාත්‍යවරයා, මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
පෞද්ගලික ජීවිතයේදී මෙන්ම පොදු කාර්යයන්හිදී ද මන්ත්‍රීවරුන් සිය ගෞරවය රැක ගත යුතු යැයි කී අමාත්‍යවරයා, විනය විරෝධී අයුරින් හැසිරුණු මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත් අවස්ථාව ද පැවැති බව කීවේය. එබැවින් පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබද පනතක් හා ඊට අදාල විය යුතු වගන්ති පිළිබදව අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කළ බව රාජපක්ෂ මහතා පැවසීය.
විශේෂයෙන්ම මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා හැකි වන අයුරින් මෙම පනත් කෙටුම්පතට ප්‍රතිපාදන ඇතුළත් කොට ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා කීවේය.
දැනට සම්මත කොට ඇති සහ ඉදිරියේදි සම්මත කිරීමට නියමිත අණ පනත් තිහකට අධික ප්‍රමාණයක් සම්බන්ධයෙන් මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් දැනුවත් කළ බව කී ඒ මහතා, ශාසනයේ උන්නතිය වෙනුවෙන් අණපනත් කිහිපයක් ඉදිරියේදී සම්මත කරන බව කීවේය.
ඒ අතර සංඝාධිකරණයක් පිළිබදව යම් අදහසක් පවතින බවත් එමෙන්ම මහා නායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු සංඝ සභාවක් පිහිටුවීම පිළිබඳව සාකච්ඡා වූ බව ද හෙතෙම කීවේය. රටේ යහපාලනය සුරක්ෂිත කිරීම සඳහා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම, මැතිවරණ වියදම් අඩු කොට මැතිවරණ දූෂණ වළක්වා ගැනීම සම්බන්ධ යේජිත නීති පිළිබදව ද මහා නායක හිමියන් දැනුවත් කළ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා තව දුරටත් සඳහන් කළේය.