ඉදිරි ආහාර හිඟයක් වැළැක්වීම සඳහා සත්ව ආහාර නිෂ්පාදනය සඳහා සහල් යොදා ගැනීම අත්හිටුවයි – නදීක දයා බණ්ඩාර

සත්ව ආහාර සහ බියර් නිෂ්පාදනය සඳහා සහල් යොදා ගැනීම වහාම අත්හිටුවීමට පියවර ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීම මහතා පවසයි.
වියළි කාලගුණය හේතුවෙන් ඉදිරියේදී සිදුවිය හැකි සහල් හිඟය වළක්වා ගැනිම සඳහා මෙම තීරණය ගත් බව ගන්නෝරුව ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැති නවෝත්පාදන හදුන්වාදීමේ උත්සවයේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පවතින වියළි කාලගුණය සහ එල් නිනෝ (El Niño) තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ආහාර හිඟයක් මතුවිය හැකි බවට කාලගුණ විශේෂඥයන් අනාවැකි පළ කර ඇති බැවින් ජල පරිහරණයේදී විමසිලිමත් වන බව අමාත්‍යවරයා කීවේය
දැනටමත් මහා වාරි ව්‍යාපාර රැසක ජල ධාරිතාව පහළ බැස ඇති බැවින් සහල් නිෂ්පාදනයට යම් බලපෑමක් සිදුවිය හැකි නිසා සහල් අමතර කාර්යයන් සඳහා යොදා ගැනීම සීමා කළ බව ඒ මහතා සඳහන් කළේය.
බඩඉරිඟු ආනයනය සඳහා අවසර ලබාදීම මගින් සත්ව ආහාර සඳහා වී සහ සහල් යොදා ගැනිම සීමා කළ හැකි යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
කෘෂිකර්ම සංවර්ධනයේදී ගුණාත්මක බීජ නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ඒ අනුව දෙමුහුන් බීජ ආනයනය සඳහා වැය කරන මුදල සීමා කළ හැකි යැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවේය.
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ජනගත කිරීම සඳහා නුදුරේදීම කටයුතු කරන බව කී අමරවීර මහතා, දැනට එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කරන ලද තක්කාලි ප්‍රභේද දෙකක්, බෝංචි ප්‍රභේදයක්, සෝයා යෝගට් නිෂ්පාදනයක් සහ නව බිම්බල් ප්‍රභේදයක් මෙහිදී එළිදැක්විණි.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලතී මෙනවිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.