රසායනික පොහොර බෙදාහැරීමේ කාර්යයයෙන් රජය ඉවත්වීමේ තීරණයක් – නදීක දයා බණ්ඩාර

රසායනික පොහොර බෙදාහැරීමේ කාර්යයෙන් රජය ඉවත්වී  පොහාර ලබාදීමේ නව ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පොහොර මිලදී ගැනීම සඳහා ගොවියන්ට මුදල් බැංකු ගත කොට ලබා දෙන බවත් ඊට සමගාමීව රජයේ පොහොර සමාගම් දෙක මගින් තරඟකාරී අයුරින් පොහොර බෙදාහැරීමට නියමිත බවත් අමාත්‍යවරයා කීවේය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ගන්නෝරුව කෘෂිතාක්ෂණ උද්‍යානයේදී අද (03) පැවැති ගොවි ක්ෂේත්‍ර දිනය සහ කෘෂිතාක්ෂණික ප්‍රදර්ශනය විවෘත කිරීම සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව තාක්ෂණය හා නව නිපැයුම් ගොවිජනතාව හමුවට ඉදිරිපත් කිරීම සඳහා මෙම තාක්ෂණීක ප්‍රදර්ශනය සංවිධාන කොට තිබිණි.

ගන්නෝරුව ජාන සම්පත් සංරක්ෂණ මධ්‍යස්ථානයේදී පැවැති සමාරම්භක අවස්ථාවට සහභාගීවූ අමාත්‍යවරයා, පොහොර බෙදාහැරීමේ කාර්යයයෙන් රජය ඉවත්වීමත් සමඟ කෘෂීකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට කෘෂී ව්‍යාප්තිය සඳහා සහභාගීවීමට අවස්ථාව ලබා දෙන බව ප්‍රකාශ කළේය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුලු පර්යේෂණ ආයතන සිදුකරන නව පර්යේෂණ ගොවිජනතාව අතට පත්වීමේ මන්දගාමී තත්ත්වයක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා ඉදිරියේද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තාක්ෂණීක දැනුම ලබා දෙන බව කීවේය.

තාක්ෂණික රැස්වීම් සඳහා ගොවි සංවිධාන නියෝජිතයන් සහභාගීවන නමුත් එම ගොවි නායකයන් සිය ගොවියන් දැනුවත් කරන අවස්ථා විරල බව කී අමාත්‍යවරයා ඇතැම් දේශපාලන පක්ෂ හා සම්බන්ධ ගොවි නායකයන් සිය ගොවි ප්‍රජාව වෙත නිවරැදි දැනුම ලබා නොදෙන බව ද එහිදී පෙන්වා දුන්නේය.

තාක්ෂණික දැනුම ගොවියන් අතට පත් නොවීම නිසා පොළොන්නරුව වැනි ප්‍රදේශවල ගොවියන් භාවිත කරන බීජවලින් සියයට 50ක් පමණ ගුණාත්මක බීජ නොවන බව අනාවරණය වී ඇතැයි ද ඒ මහතා කීවේය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවියන් හෙක්ටයාරයකින් වී කිලෝ 11 000ක් ලබන අවස්ථාවක ඇතැම් දිස්ත්‍රික්කවල ගොවියන්නෙළන අස්වැන්න කිලෝ 4000ක පමණ පහළ මට්ටමක පවතින බව ද ඒ මහතා කීහ.

වැසි රහිත වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ගොවියන් රැසකගේ කුඹුරු විනාශවීම වැළෑක්වීම සඳහා උඩවලව, චන්ද්‍රිකා වැව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවල ජලය කුඹූරු කරා සුදුසු අයුරින් නිකුත් කොට ගොයම රැක ගැනීමට පියවර ගන්නා බව ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. සහල් හිඟයක් මතුවිය හැකි නමුත් ඉන්දියාව, පකිස්ථානය වැනි රටවල් සහල් අපනයනය කිරීම අත්හිටුවා ඇති අවස්ථාවක මෙරට වී අස්වැන්න රැක ගැනීමට සඳහා වාරි ජලය සුදුසු අයරින් භාවිතා කරන බව කෘෂීකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලතී මෙනවිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති සරත් කොඩිතුවක්ක මහතා, අපනයක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී.පී.දිස්නා මෙනවිය ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed