ක්ෂුද්‍ර මූල්ය ණය අර්බුදයේ ගිලුණු ශෘහණියෝ – මිතුන් ජයවර්ධන

ක්ෂුද්‍ර මූල්ය ණය ණය ලංකාව තුළ ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාවට වැලේ වැල් නැතිකරමින් දැවැන්ත උගුලකට හිර කරන ආකාරයෙනි. ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ව්යාප්ත වන විට දිළිදු ජනතාවගේ ජීවිත වලට වැලේ වැල් නැතිව ඔවුන්ගේ ජිවිත උකසට සින්න කරන්නට සිදුවී තිබේ.
අද වන විට උතුර දකුණ නැගෙනහිර කිසිදු භේදයකින් තොරව මේ දැවැන්ත ණය උගුලට අසු වී දැවැන්ත ගැටලු රාශියකට මුහුණ දෙමින් තමන්ගේ ජීවිකාව ඉදිරියට ගෙනයනවා ද එසේ නොමැති නම් එය තොරකර ගන්නේ ද යන උභතෝකෝටික ප්‍රශ්ණයට මුහුණ දෙමින් සිටිති. එදා පුංචි අතමාරුවක් ලෙස ගනු ලැබු මේ ණය අද මහා දැවැන්ත කන්දක් වී ඔවුන් පිටම කඩා වැටෙනු ඇතැයි කිසි විටක බලාපොරොත්තු නොවන්නට ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු විද්වතුන් බොහොමයකගේ අදහස වුයේ ක්ෂුද්‍ර මූල්ය ණය ලංකාව තුළ ක්‍රියාත්මක වුයේ අවුරුදු 30ක යුද්ධයෙන් පසු බවයි. යුද්ධයෙන් පසු තමන්ගේ ආර්ථික තත්ත්වයන් ගොඩනගා ගැනීම සදහා උතුරු-නැගෙනහිර ගෘහනියන් අතමාරුවට ලබා ගත් ණය හේතුවෙන් මේ අර්බුදය ඇති වුණු බව ප්රසිද්ධ මාතෘකාවක් විය
ලියමුකරු උතුරු-නැගෙනහිර හා දකුණ ආදී ප්‍රදේශ වලින් බොහොමයක ගෘහනියන් හමු වී සිදු කරනු ලැබු සාකච්ඡා තුළින් මේ ණය අර්බුදයට මුහුණ දී ඇත්තේ උතුර හෝ දකුණ පමණක් නොව සමස්තම රට බව අනාවරණය විය.
අද වන විට විවිධ ව්යවසායකයෝ විශාල සංඛ්යාවක් තමන්ගේ ජීවිතයෙන් මේ සදහා වන්දි ගෙවමින් මේ ණය ගෙවා දමා ඇත. සමහරුන් තමන්ගේ ණය ගෙවන්නට ඔවුන්ගේ ජීවිත පමණක් නොව ඔවුන්ගේ අහිංසක දරුවන්ගේ ද ජීවිත ද පුද කරන ලද පුවත් දහස් ගණන් වාර්තා විනි
පවුල් කඩන්නේ ණයට හිලව්වට ද
“අනේ මහත්තයෝ අපි ගෙවන්නේ පවක්. ජීවිතය කියන්නේ කොච්චර ලස්සනට තියෙන්න ඕන දෙයක් ද? අපි කොච්චර බලාපොරොත්තු තියාගෙන ද මේ ණය අරගෙන ඉස්සරහට යන්න හැදුවේ. ඒ හැම දෙයක්ම කඩාගෙන වැටුණා. ණය ගෙවා ගන්න බැරි වුණාම අපේ මහත්තයා ගෙදර හැංගෙන්න ගත්තා. කොච්චර ද කියනවා නම් ණය වාරික ගෙවන දවසට අපේ මහත්තයා ගෙදර ඉන්නේ නැහැ. ඒ වගේ දවස් වල එයා ගෙදරින් එලියට ගියාම ආයේ එන්නේ ඇදිරි වැටිලා. ණය වාරික ගන්න එන්න මනුස්සයාත් හවස් වෙනකම් ඉන්නවා. මහත්තයා ගෙදර නැහැ කියලා දැනගත්තාම මෙ මනුස්සයා මගෙන් ලිංගික අල්ලස් ඉල්ලන්න ගත්තා. අන්තිමේ මට වුණේ ණයට හිලව් වෙන්න.” එහෙම කිව්වේ ලියුම්කරුට පොලොන්නරුවේ දී හමු වු මැදිවයසේ පසුවන එක් දරු මවක්.
තම පවුලේ ජිවන තත්ත්වය ගොඩ නගන්න විශාල බලාපොරොත්තු තබාගෙන සිටි ඇතැම් ගෘහනියන්ගේ අපේක්ෂාවන් භංගත්වයට පත් කරමින් ක්ෂුද්ර මුල්ය ණය ඔවුන්ව දැවැන්ත ණය උගුලකට හිර කරගෙන තිබේ. කිසිදු ඵලදායිතාවයකින් තොර මුදල් කළමණාකරනයක් නිසා ඔවුන්ට මෙම තත්ත්වය ඇති වන්නට ඇත. තමන්ගේ ජීවන තත්ත්වය ගොඩ නගා ගැනීම පිළිබද විවිධ අපේක්ෂාවන්ගේන් අනූන ගෘහනියෝ තමන්ගේ ගෙවතු වගාකටයුතු, සුළු කර්මාන්ත, විවාහ උත්සව, දානමය පිංකම්, නිවාස අලංකාර කටයුතු, යාන වාහන මිලදී ගැනිම හා තවත් ණයක් ගෙවා දැමිමට ආදී කරුණු සදහා ණය ලබාගෙන තිබේ. මෙබදු කිසිදු ඵලදායි බවකින් තොරව මුදල් ලබා ගෙන වියදම් කිරිම හේතුවෙන් ඔවුන් බොහොමයකට ණය උගුලට ගොදුරු වන්නට සිදු ව තිබේ.
කිසිදු සැලසුමක් නොමැතිව බොහොමයක් දෙනා ණය මුදල් ලබා ගෙන ඇත. අද වන විට අන්තර්ජාලය හරහා විවිධ ආයතනයන් කිසිදු සාක්ෂිකරුවෙකුගෙන් තොරව රුපියල් 50,000ට වඩා ඉහල මුදලක් වුවද ගෙවන්නට සුදානමින් සිටිති. මෙලෙස ලබා ගන්නා ණය මුදල් ගෙවා ගත නොහැකිව දැවැන්ත අර්බුදයන් වලට මුහුණ දුන් අය රට පුරා විවිධ ප්රදේශ වලින් අපට හමුවුණි.
ණයට ජිවිතය හිලව් ද
‘වැඩිහිටියෝ ඇඹුල් කෑවාම දරුවන්ගේ දත් හිරි වැටෙනවා‘ කියලා පැරණි කතාවක් තියෙනවා. ඇත්තම රටක් වශයෙන් අපි අපේ අනාගත පරපුරට හොද අනාගතයක් උදා වෙනවට කැමතියි. ජීවතයට එන විවිධ අර්බුදයන් වලදී පවුල නැමැති මහා වෘක්ෂයේ දැවැන්ත අතු පියාට සමාන කරනවා නම් මේ මහා වෘක්ෂය දරාගෙන ඉන්න මුල් ටික අම්මා. හොදම දේ තමන්ගේ දරුවන්ට දෙන්න ඇය උත්සහ කරනවා. පවුලේ තියෙන අර්බුදයන් වලට සමනයක් ගෙන දෙන්න. වසර 30ක පැවති මහා යුද්ධයේ බිහිසුණු අත්දැකිම් වලින් හෙම්බත් වුණු උතුරුකරයේ මව්වරුන්ට මේ වන විට ණය මුදල් එකතු කරන්නන්ගෙන් හෙම්බත් වන්නට සිදුව ඇත්තේ අවසානවන්ත ලෙසයි. ඒ අවසානවන්ත අමිහිරි අත්දැකීම වචන වලට පෙරලන්න අපට හමුවුණේ යාපනයේ ගුරුනගර් ධිවර ගම්මානයේ පදිංචි වයස අවුරුදු 64ක අවිවාහක කාන්තාවක් වු ජී. ලක්ෂ්මි තෙරේසාය.
‘‘අපේ නංගිගේ මහත්තයාගේ බෝට්ටුව ඉන්දියාවේ ධිවරවර බෝට්ටුවකින් පෙරලුවා. ඒක හදන්න විදිහක් නැතුව ඉද්දි තමයි මම නංගිලාට මේ ණය අරගෙන දුන්නේ. අපේ මස්සිනාට හාට් ඇටක් එකක් ඇවිල්ලා යාපනේ ඉස්පිරිතාලේ දි නැති වුණා. ඊට පස්සේ තමයි ණය ගෙවා ගන්න අමාරු වුණේ. එක දවසක් මේ ණය ඉල්ලන්න ආපු මල්ලිට මම කිව්වා තව මාසයක් කල් දෙන්න කොහොම හරි වාරිකය දෙන්නම් කියලා. ඒක කිව්වා විතරයි බයික් එකේ ඉදන්ම මට පයින් පාරක් ගැහුවා. ‘ණයත් දිලා මුන්ගේ ලොකුකමත් බලන්න වෙලා‘ කියලා. මේක බලන් හිටිය අපේ නංගිගේ ළමයා දර පලමින් හිටිය පොරොවෙන්ම අර මනුස්සයාට ගහන්න පැන්නා.“
ණය මුදලක් වෙනුවෙන් ජීවිතයක් නැති කර ගන්න කිසිකෙනෙක් කැමති වෙන්නේ නෑ. තමන්ගේ පවුලේ හිතවතුන්ට වෙනත් අය පහර දෙනතුරු බලාසිටිමට කිසිවෙකුත් කැමති නැත. වයස අවුරුදු 16 වන ලක්ෂ්මිගේ නැගණියගේ පුතා තමන්ගේ ලොකු අම්මාට පහර දුන් පුද්ගලයාට පහර දීමට පැමිණියේ වෙන කරන්නට කිසිත් නොමැති නිසාය. තමා ගත් ණය ගෙවා අවසන් කරන්නට මත්තේන් තවත් වන්දියක් ගෙවන්නට ඔවුන්ට සිදු ව තිබේ. ණය වාරිකය මෙන් දහ ගුණයක මුදලක් ගෙවන්නට ඔවුන්ට සිදු වි ඇත්තේ එදා ණය ලබා ගෙන අලුත් වැඩියා කරන ලද ඔවුන් සතුව එකම ආදායම වු කුඩා ධිවර බෝට්ටුව විකිණිමෙන් ලැබෙන මුදලින් ය. අවසානයේ ණය ලබාගෙන ඔවුන් ලද වාසියක් හෝ සාර්ථිකත්වයක් නැත. තව දශමයක් මේ කතාව වෙනස් වුවා නම් වන්දියක් නොව තමන්ගේ පවුලේ එකම උරුමය සදාකාලයටම හිර බත් කන්නට වුද හැකි යැයි ලක්ෂ්මි තෙරේසා හා ඇයගේ නැගණිය අවබෝධ කරගෙන තිබේ.
“ණය ගෙවා ගන්න බැරුව අපේ ගමේ කොච්චර මිනිස්සු මැරුණ ද සමහරු රට පැන්නා. දැන් ඒ මිනිස්සු ගැන හිතද්දිත් හරි දුකයි. දරුවෝ දෙන්නා නැත්තම් මමත් ඇත්තටම හුස්ම ටික නතර කරගෙන. මගේ ණයක් ගෙවා ගන්න බැරුව ඉන්න වෙලාවක තමයි මේ ණය ගන්න මම හිතුවේ. කොරොනා කළේ කිසි දෙයක් කර ගන්න බැරුව අපි හරිම අමාරුවෙන් හිටියේ. මේ වෙලාවේ කඩේ බඩු කාරයාට සල්ලි දෙන්න තමයි මුන්ගෙන් ණයක් ගත්තේ. ඒ වෙලාවේ කවුරුත් හිටියෙත් නැහැ උදව්වක් ඉල්ල ගන්න. හැමෝටම අමාරුයි නේ. දැන් මේ ණය ගෙවා ගන්න විදිහක් නෑ. මම මාර හිර විල්ලක ඉන්නේ. ණය මල්ලි කඩේට එන දවසට ඉස්සර මම කඩේ වහගෙන කඩේ ඇතුලේ ඉන්නෝ. හැබැයි දැන් මේ යකා කෙල්ල තනියෙන් ගෙදර ඉන්න වෙලාවට ගෙදරට ගිහිල්ලා. ඒ දරුවට කරදර කරනවා. අපිට සල්ලි ගෙවා ගන්න බැහැ කියලා මට බැහැ මගේ දරුවන්ගේ ජීවිත උන්ට ලියලා දෙන්න.”

එහෙම කිව්වේ ගම්බද පරිසරයක ජිවත් වෙන කෙනෙක් නම් නෙමෙයි. දෙහිවල මහ නගර සභාව යටතේ වරිපනම් බදු ගෙවමින් කොළඔ – ගාල්ල ප්රධාන පාරට මුහුණලා පුංචි පළතුරු කඩයක් කරන නම කියන්න අකමැති ව්යවසායක වැන්දඹු අම්මා කෙනෙක්. ඇයගේ ස්වාමි පුරුෂයා හදිසියේ ඇති වු හදවත් රෝගයකින් ජීවිතක්ෂයට පත් වෙපලා තියෙන්නේ 2018 වර්ෂයේ අගොස්තු මාසයේ 08 වැනිදා. ඒ කියන්නේ ඇයගේ බාල දුවට හරියටම වයස අවුරුදු 13 ක් ලබලා හරියටම දවස් 07කට පස්සේ. ඉතින් එදා ඉදන් අද වෙනකම් ඇය තමන්ගේ දරුවෝ දෙන්නා බලා ගත්තේ මේ කඩයෙන් ලැබෙන මුදලින්. ණය වාරියකයට තමන්ගේ දියණියගේ ජීවිතය හිලව් කරන්න අම්මා කෙනෙක් කිසි විටක සුදානම් නැත. රටේ වගකිව යුතු පිරිස නිහඩ පිළිවෙතක් අනුගමනය කිරිමත් සමග මෙවැනි අපරාධන් අද රටේ වැඩි වර්ධනය වි ඇත.
ක්ෂුද්‍ර මූල්ය ණය අර්බුදයට මුහුණ දෙන මෙවැනි කාන්තාවන් අද වන විට ජාති කුල භේදයකින් තොරව රටේ සෑම ප්රදේශයකම මේ අර්බුදය පවතින බව ලියුම්කරු සිදු කරන ලද සංචාරය අතරතුර දී හා සාකච්ඡා කරන ලද කරුණු මත අවබෝධ කර ගන්නට හැකි විය. මේ අර්බුදය පිළිබදව සමාජය ප්රථමයෙන් කථා කරනු ලැබුවේ යුද්ධයෙන් පසු උතුරු නැගෙනහිර කාන්තාවන් මුහුණ දුන් අර්බුදයක් ලෙස පමණි. ක්ෂුද්ර මූල්ය ණය අර්බුදයෙන් හෙම්බත් වුණු කාන්තාවන් වෙනුවෙන් අධිකරණය ඉදිරියේ හඩ නගන ‘පරිවර්තන් ‘සංවිධානයේ විධායක අධ්යක්ෂිකා නීතීඥ රදිකා ගුණරත්න මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ කීය.
“අපි මේක ගැන කථා කරනකොට ලංකාවේ මාධ්යටත් මේ තොරතුරු වාර්තාවේලා නැහැ. හැබැයි ලංකාවේ ක්ෂුද්ර මූල්ය ප්රශ්නය ගැන කථා කරමින් හිටියා. ඒ උතුරු නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වු, වැන්දඹුභාවයට පත් වු කාන්තා ස්ත්රී ගෘහ මුලීක පවුල් වල කාන්තාවෝ මේ ණය වසංගතයට ගොදුරු වෙලා කියලා. මේ ප්රශ්නය උතුරු නැගෙනහිරට ප්රදේශයට පමණක් සීමා වෙලා තමයි රට තුළ කථා කළේ. ඇත්තටම වසංගතයක් විදිහට මේ ප්රශ්නය රටේ උතුරු නැගෙනහිර භේදයකින් තොරව රටේ සෑම ගම්මානයක් පුරාම පැතිරිලා තිබුණා. මේ ක්ෂුද්ර මූල්ය ණය ගැන කථා කරනකොට මේ සදහා වින්දිතයින් ද වගකිව යුතුයි කියන මතයට මම විරුද්ධ වෙන්නේ. මේක පිටිපස්සේ ලොකු දේශපාලන මැදිහත් වීමක් තිබුණා. ඒක ගැන අපේ සමාජය අද කථා කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ පවුල් වල ජීවත් වෙන දරුවෝ විශාල සංඛ්යාවක් තමන්ගේ අධ්යාපන කටයුතු අතර මග නතර කරලා විවිධ මත්ද්රව්ය වලට ඇබ්බැහි වෙන තත්ත්යෙ සිඝ්රවර්ධනයක් තියෙනවා.”
සැබවින්ම පවුල් සංස්ථාවට දැවැන්ත බලපෑමක් සිදු කරන මෙම ණය උගුලට හසුවු කාන්තාවන් විශාල සංඛ්යාවක් ලියුම්කරුට ප්රදේශ බොහොමයකින් හමුවු නමුත් ඔවුන් කිසිදු ප්රසිද්ධ මාධ්යයක මෙම ගැටලුව ගැන කථා කිරිමට කිසිදු කැමැත්තක් නැත. එය ඔවුන්ගේ අකමැත්තටත් වඩා ණය දුන් ආයතනවලින් එල්ලවන තර්ජනයන්ට බියෙන් බව අවබෝධ වුයේ ලියුම්කරු සිටින අවස්ථාවේම එක්තරා නිවසකට පැමිණි ණය වාරික එකතු කරන්නෙකුට බියෙන් නිවස හිමි කාන්තාව ලියුම්කරුව හදුන්වා දුන්නේ “කොළඔ ඉන්න ලොකු අම්මගේ පුතා ඇවිල්ලා” යනුවෙනි. මීට පෙර දෙස්-විදෙස් මාධ්ය බොහොමයක මේ අර්බුදයට විරුද්ධව කථා කරන ලද බොහොමයක් හට එල්ල කරන ලද තර්ජන හේතුවෙන් ජායාරූප ගැනීමකට ඔවුන් බිය විය.
පුංචි කැටයකින් ලොකු බරක් නිදහස්
දැවැන්ත ප්රශ්නයක් බවට පත් වි ඇති මේ අර්බුදය අද වන විට සෑම ගම්මානයකටම ඉතා පොදු කරුණක් බවට පත් වී අවසන්ය. මේ සදහා රජයේ පාර්ශවන් ද ගන්නා කිසිදු වැඩපිළිවෙලක් නැත. ඔවුන්ගේ නිහඩ වැඩපිළිවෙළ හේතුවෙන් දැවැන්ත අර්බුදයන් රාශියක් මේ වන විට නිර්මාණය වී ඇත. අද වන විට විවිධ කාන්තා සංවිධාන හා එකමුතු වල නියෝජිතයින් මේ සදහා විවිධ වැඩපිළිවෙලවල් අනුගමනය කර ඇත. ලියුම්කරු සංචාරය කරන ලද ප්රදේශ බොහොමයකම එවැනි විවිධ ක්රමවේදයන් දැක ගන්නට හැකි වු නමුත් එවාට විශාල ප්රසිද්ධියක් ලැබි නොතිබුණි. යාපනයේ ගුරුනගර් වල සංචාරය කරන අවස්ථාවේ හමුවු ධීවර කාන්තාවන් 10 දෙනෙකු පමණ එකතු වී සතියකට රුපියල් 10 බැගින් එකතු කරන කාන්තා සංවිධානයක් හමුවුණි. ඔවුන් සතියකට වරක් එක් සමාජිකාවකගේ නිවසට එකතු වී මේ මුදල එකතු කරන්නේ තම සමාජිකාවන්ගේ අනාගත සුභ සෙත සදහාය. ඔවුන් බොහොමයක් විවිධ ණය ලබා ගෙන දැඩි අපහසුතාවලට ලක් වු කාන්තාවන් වන අතර මෙලෙස ඔවුන්ගේම සහයට ණයක් ලබා ගැනීමට ඔවුන්ට දැන් අවස්ථාවක් නිර්මාණය කර ගෙන ඇත. මේ වන විට ඔවුන් සතුව ලක්ෂයකට ආසන්න ස්ථිර මුදලක් තිබේ. ඔවුන් එම මුදල තම සමාජිකාවන්ගේ ව්යාපාරයන්ට අවශ්ය ආයෝජනයන්ට අවශ්ය පරිදි සුළු පොලි මුදලක් අයකරගෙන ලබා දෙනු ලබයි.
සැබවින්ම මෙයට සමාන වැඩපිළිවෙලක් කල්මුනේ ප්රදේශයෙන්ද වාර්තා වුණු නමුත් තොරතුරු ලබා දීමට ඒ ප්රදේශයේ කාන්තාවෝ එතරම් කැමැත්තක් නොදැක් වුයේ ඔවුන් යම් කිසි වරදක් කරනවා යැයි ඔවුන් වටහාගෙන තිබුණි වැරදි වැටහිම නිසා වන්නට ඇත. මෙලෙස තමා ලද අධ්යාපන මට්ටමත් සමග පවතින ගැටලුවට විසදුමක් සොයා ගන්නට කාන්තාවෝ උත්සහ ගැනීම සතුටුදායක තත්ත්වයකි. රටකට අවශ්ය මෙයයි සහනයක් රජය ලබා දීමට අදිමදි කරන පසුබිමක තමන්ට අවශ්ය සහය හැකි පමණ ලබා ගැනීමට කටයුතු කිරිමෙන් ඔවුන් ලබන ජයග්රහණය අති මහත්ය.
ගැමි කාන්තාව මෙලෙස තමන්ටම ආවේණික නිවැරදි මුල්ය යාන්ත්රණයක් සකසාගෙන කටයුතු කරන්නේ නම් නැවත ඔවුන් ක්ෂුද්ර මුල්ය ණය උගුලකට හසුනොවී තම දෙපයින් සිට ගන්නට හැකි වනු ඇත. සැබවින්ම රජය මේ සම්බන්ධයෙන් කටයුතු කිරිමේ දි ග්රාමිය මට්ටමින් සිටින රජයේ නිලධාරින් මගින් මෙවැනි වැඩසටහන් පිළිබදව දැනුවත් කිරිමේ වැඩසටහන් ක්රියාත්මක කිරිමෙන් වැඩි ප්රතිඵලයක් ලබා ගැනීමට හැකි නමුත් රජයට එවැනි උවමනාවක් නැත. ඔවුන්ට අවශ්ය සැබවින්ම රටේ ජනතාව තවදුරටත් මේ ණය උගුලට අසුවී වෙදනා වීදිම නොවේද යන්න රජයේ මේ හැසිරිම දිහා බලන ඕනෑම කෙනෙකුට අවබෝධ වෙන කරුණකි.
ශ්රී ලංකා මහ බැංකුව වාර්තාකරණ ආකාරයට නියාමනයට ලක් නොවු ක්ෂුද්ර මුල්ය ක්රියාකාරකම් නීති විරෝධි තැන්පතු භාරගැනීම් අධික පොළි අනුපාත හරහා ගනුදෙනුකරුවන් සුරාකෑම සදාචාරශිලි නොවන නැවත අයකිරීම් ක්රම වැනි දෑ වැළැක්වීම ක්ෂුද්ර මුල්ය නියාමන යාන්ත්රණයක් ක්රියාත්මකය.
ක්ෂුද්‍ර මූල්ය ණය ලබා දෙනු ලබන ආයතන මහ බැංකුවේ ලියාපදිංචි කිරිම අනිවාර්ය යැයි ස්ථිර නියාමයක් තවමත් සකස් කර නොතිබිමේ උපරිම ප්රයෝජනය එවැනි සමාගම් ගනි. ස්ථිරයෙන් නියාමනය කිරිමට පණතක් නොමැති වුවත් 2016 වර්ෂයේ ජුලි 16 වැනිදා මේ සම්බන්ධයෙන් යම් පාලනයක් විය යුතු යැයි සදහන් කරමින් 2016 අංක 6 දරන ක්ෂුද්ර මුල්ය පනත බලාත්මක කරනු ලැබුවා. ක්ෂුද්ර මුල්ය අංශයේ ආයතන නියාමනය සදහා නීති පැනවීමට දශකයකට වැඩි කාලයක ඉදන් රජය විවිධ වු නියාමන ක්රමවේදයන් අනුගමනය කළා. 2002 වර්ෂයේ සිට 2016 වර්ෂයේ ගෙන එන ලද ක්ෂුද්ර මුල්ය පනත දක්වා විවිධ වු පනත් හයක් ගෙන්න රජය කටයුතු කිරිම හේතුවෙන් මේ සදහා නිසි විසදුමක් හෝ නියාමනයක් සිදු නොවුණ බවයි විද්වතුන්ගේ අදහස වෙන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ව්යාපාර ආර්ථික විද්ය අධ්යන අංශයේ මහාචාර්ය එම්.ඒ. කේ. ශ්රීයාලතා මෙසේ කීවාය.
“රටක් වශයෙන් අපි ගොඩක් අර්බුද වලට මුහුණ දෙමින් ඉන්න මොහොතක ක්ෂුද්ර මූල්ය අර්බුදයත් ක්රමයෙන් වර්ධනය වන දැවැත්ත අර්බුදයක්. මේ සදහා ග්රාමීය ප්රජාව වැඩි වශයෙන් යොමු වන්නේ මෙම ණය මුදල් ලබා ගැනීමට තිබෙන වාසිදායක තත්ත්වයයි. කිසිදු කරුණු විමසුමකින් තොරව මෙම ණය මුදල් ලබා දීම නිසා ජනතාව කිසිදු අවබෝධයකින් තොරව මේ සදහා යොමුවෙනවා. එලෙස ලබා ගත් ක්ෂුද්ර මුල්ය ණය මුදල් කපා හැරිමක් කරනව ද එහෙමෙ ත් නැති නම් ඒ අයට යම් සහනයක් ලබා දෙනවා ද කියලා කථා කරන්න ප්රථමයෙන් බැංකු පද්ධතියේ තිබෙන තත්ත්වය කුමක් ද යන්න පැහැදිලිව අවබෝධ කරගත යුතුයි. මේ මොහොතේ තමන් ලබා ගත් ණය ගෙවා ගත නොහැකිව ජනතාව අසරණ වෙලා ඉන්නවා වගේම බැංකු පද්ධතියත් විවිධ අර්බුද වලට මේ මොහොතේ ලක්ව සිටිනවා. එවැනි තත්ත්වයක මේ හේතුවෙන් පිඩාවට පත් ජනතාව ගැන පමණක් කථා කරන්න බැහැ. රට සාමන්ය තත්ත්වයක පවතිනවා නම් ඔවුන්ට අවශ්ය ණය කපා හැරිමක් වුවද කිසිදු ගැටලුවකින් තොරව සිදු කිරිමට පුළුවන්.
අපේ රටේ අවශ්යතාවයට වඩා වැඩි සංඛ්යාවක බැංකු ස්ථාපිත කරලා තියෙන්නේ. මේ වෙනකොට රටේ ඉන්න මිලියන විසිදෙකක ජනතාවක් සදහා බැංකු කොච්චරක් ලංකාවේ ස්ථාපිත කරලා තියෙනවා ද කියලා බලන්නකෝ. ඇත්තටම මහ බැංකුව තිරණයක් ගන්න ඕන මේ කාර්ය සිදු කරන්න හැක්කේ කුමන බැංකු වලට ද යන්න කියලා. ඒ සදහා අවශ්ය නීති පද්ධතිය සකස් විය යුත්තේ මහ බැංකුවෙන්. රටේ බැංකු සියල්ලම පාලනය කිරිමේ අයිතිය මහ බැංකුවටයි තියෙන්නේ.”
සමාජයේ අවධානය නොලැබෙන මෙවැනි කොට්ඨාසයක් ගොදුරු බවට පත් කර ගනිමින් ක්ෂුද්ර මුල්ය සමාගම් මහ බැංකුවේ කිසිදු මැදිහත් වීමකින් තොරව සිදු කරන මෙවැනි වංචනික ක්රියාවන් නතර කිරිමට විවිධ රජයන් කිහිප වරක් උත්සහ කරන ලද නමුත් අද වන තුරු එය සිදු කිරිමට කිසිවෙකුට නොහැකි වි ඇත්තේ මෙවැනි සමාගම් පසු පස සිටිමින් රටේ දේශපාලන පද්ධතිය හැසිරවීම නිසා ද යන්න ප්රශ්නාර්ථයක් අද ඉතිරි කර ඇත.
විවිධ බැංකු හා මුල්ය ආයතන මෙන් මෙම ක්ෂුද්ර මුල්ය ආයතනද යම් නියාමනයකට ලක් කිරිමට රජය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දි ණය මුදල් ලබා ගන්නා පිරිසට හා ණය මුදල් ලබා දෙන පාර්ශවයටද ඉතා අහිතකර වනු ඇත. එවැනි නිසි නියාමනයක් ඇති කිරිමට රජය ඉදිරියේ දි කටයුතු නොකරන්නේ නම් ක්ෂුද්ර මුල්ය උගුලට ජිවිත බිලී දිම නතර නොවනු ඇ
උපදේශකත්වය සහ අනුග්‍රහය Internews ආයතනය