වී වගාව ආශ්‍රිතව සීඝ්රයෙන් පැතිර යන ගොඩවෙල්ලා හානිය පාලනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සැලසුම් , නදීක දයා බණ්ඩාර – මහනුවර
වී වගාව ආශ්‍රිතව පැතිර යන ගොඩවෙල්ලා හානිය පාලනය කිරීම සඳහා බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය මගින් සාර්ථක ඒකාබද්ධ පලිබෝධ පාලන ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි සංරක්ෂණ සේවයේ අතිරේක අධ්යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා පවසයි .
ගොයමට හොදින් ජලය බැද ගොයම් ගස් මුල් සහිත කොටස් හොදින් ජලයෙන් යටවූ පසු පත්‍ර මතට පැමිණෙන කෘමියා විලෝපිකයන්ගේ ආහාරයක් බවට පත් කර ගත හැකි යැයි අතිරේක අධ්යක්ෂ වරයා තවදුරටත් සඳහන් කලේය.
ඔහු මෙම අදහස් පල කලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්ෂණ සේවා කාර්යාලයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිණි.
නමුත් ස්පොඩොප්ටේරා (Spodoptera) විශේෂයට අයත් මෙම හානිය දැනට දිස්ත්‍රික්ක කිහිපයක ව්‍යාප්තවී ඇති නිසා කඩිනම් පාලනයට කෘමිනාශක යොදන ලෙසට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කොට ඇතැයි ද අතිරේක අධ්යක්ෂවරයා කීවේය.
ගොඩවෙල්ලා හානිය දිස්ත්‍රික්ක ගණනාවකින් වාර්තා වන බැවින් ඒකාබද්ධ පලිබෝධ නාශක ක්‍රමයට අමතරව කෘමිනාශක නිර්දේශ කළ බව කී ඒ මහතා උදේ සහ සවස් කාලයේදී පමණක් කෘමිනාශක යෙදීම යෝග්‍ය යැයි ද කීවේය.
සේනා දළඹු විශේෂයට සමාන මෙම දළඹු විශේෂය සාමාන්‍ය පරිසරයේ පවතින නමුත් මේ අවස්ථාවේදී සීඝ්රයෙන් ව්‍යාප්තවී ඇතැයි කී ඒ මහතා වී වගාවේ ආරම්භක අවස්ථාවේදී පමණක් එම හානිය සිදුවන බැවින් සාර්ථක පලිබෝධ පාලන ක්‍රම මගින් රෝගය මර්ධනය කර ගත හැකි යැයි පෙන්වා දුන්නේය.
මෙම රෝගය ගොයම් වගාවේ ආරම්භක අවස්ථාවේදී වාර්තා වන බැවින් ඉන් අස්වැන්නට ප්‍රබල හානියක් නොවන බවත් ආරම්භයේදීම හානිය පාලනය කර ගැනීම මගින් ගොයම සාර්ථකව ආරක්ෂා කර ගත හැකි යැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි සංරක්ෂණ සේවයේ අතිරේක අධ්යක්ෂ ප්‍රභාත් නිශාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.