ශ්‍රීපාද වන්දනා සමය 06 වැනි දින අවසන් -චන්දන ජයවීර – හැටන්
මෙවර ශ්‍රීපාද වන්දනා සමය (2022/2023) වෙසක් පුන් පෝය දිනට පසු දිනෙන් (06) නිමාවට පත්වන බව ශ්රීපාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති හා සබරගමුව පලාතේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නායක හිමියෝ පැවසූහ.
සිරිත් පරිදි ඉකුත් වසරේ (2022) දෙසැම්බර් (උඳුවප්) පුන් පෝය දින ආරම්භ වී 2023 වෙසක් පුන් පෝය දිනය දක්වා ශ්‍රීපාද වන්දනා සමය පුරා මාස 06 ක කාලයක් පැවැත්විණි.
වෙසක් පුන් පෝය දිනට පසු දින (06) දා පෙරවරුවේ යෙදෙන සුබ නැකත් අනුව ශ්‍රීපාද උඩ මළුවේදී සදාතුක කරඬුව, ශ්‍රී සමන් දෙවියන්ගේ රන්මුවා පිළිමය, දේවාභරණ වෙනුවෙන් සිරිත් පරිදි ශ්රීපාස්ථානාධිපති නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව එදින පස්වරුවේ යෙදෙන සුභ නැකත් අනුව සදාතුක කරඬුව හා සමන්දේව ප්‍රතිමාව අවාර සමයේ තැන්පත් කරවවීමට ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම ආරම්භ කෙරේ.
පෙර වසරවලදී මෙන්ම මෙවරද ලක්ෂපාන යුද හමුදා කඳුවුරේ නිලධාරීන් ඇතුළු සෙබළ නිලයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර ඇති සඳාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ විශේෂ රන්සිවිගෙයක තැන්පත් කර නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත වැඩම කරනු ලබන්නේ පංච තූර්ය නාදය මධ්‍යයේය.
සඳාතුක කරඬුව,සමන්දේව ප්‍රතිමාව හා දේවාභරණ නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානයේ සිට (06) දා පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව විශේෂ රිය පෙරහැරකින් ගමන් ආරම්භ කර මාවුස්සාකැලේ, ලක්ෂපාන, කිතුල්ගල, අවිස්සාවේල්ල හරහා එක් පෙරහැරක්ද නෝර්වූඩ්, බගවන්තලාව හරහා අනෙක් පෙරහැර පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය වෙත වැඩම කිරීමට නියමිතය.
සඳාතුක කරඬුව, ශ්‍රී සුමන් සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමය හා දේවාභරණ පුරාණ චාරිත්‍ර අනුව ශ්‍රීපාද අවාර සමයේ පැල්මඬුල්ල, ගල්ත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරයේ තැන්පත් කර තැබීම සිදු කරනු ලබයි.