මහවැලි සී කලාපයේ අලුත් සහල් මංගල්‍ය මහනුවර ශ්‍රි දළදා මාලිගාවේදී – නිමල් කොළඹිස්ස

මහවැලි සී කලාපයෙන් නෙළා ගන්නා නැවුම් අස්වැන්නේ අග්‍රභාගය ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කෙරෙන අලුත් සහල් මංගල්‍යය ඊයේ (26) දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී පැවැත්විණි.
මහ කන්නයේ නෙලා ගත් නැවුම් අස්වැන්නෙන් සකස් කර ගත් කිරි ආහාර දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජා කොට ඉදිරි කන්නය සර්වප්‍රකාරයෙන් සාර්ථක කර ගැනිම හා රටට සෞභ්‍යාග්‍ය අපේක්ෂා කර ගැනිම අරමුණු කර ගනිමින් මෙම මංගල්‍ය වාර්ෂිකව පවත්වති.
ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි නායක හිමි සහ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුලු දායක පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පූජාව පැවැත්විණි.
මහවැලි සි කලාපයේ ගොවිජනතාවගේ දායකත්වයෙන් 29 වන වරට පැවැත්වූ මෙම අලුත් සහල් මංගල්‍ය සඳහා අලුත් සහල් මංගල්‍යයේ ප්‍රධාන අනුශාසක මහවැලි සී කලාපයේ සංවර්ධන කමිටුවේ ගරු අනුශාසක, අස්ගිරි විහාර පාර්ශවයේ නැගෙනහිර පළාත සහ තමන්කඩු යන දෙපලාතේ ප්‍රධාන සංඝනායක මකුරුප්පේ පඥ්ඥාසේකර නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය ද මහවැලි C කලාපයේ නේවාසික ව්‍යාපාර කළමණාකාර උභය කල්‍යාණ කුමාර මහතා ඇතුලු මහවැලි අධිකාරියේ නිලධාරීන් සහ C කලාපීය ගොවිජනතාව රැසක් සහභාගිව සිටියහ.