“රටේ ජනතාව මේ පාලකයින්ට කැමැතියි කියලා කියන්න බැහැ දැන්. අලුත් ඡන්දයක් තියලා බලයට එන්න.” – කොළඹ අගරදගුරු

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී නව රජයක් පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දිය යුතු බව ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය විවේචනය කරමින් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඊයේ කොළඹදී ප්‍රකාශ කළේය.

“අද රට  පාලනය කරන අය රට ජාතිය ගැන කනගාටුදායක තත්ත්වයක් නිර්මාණය කර තිබෙන නිසා ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමැතිවරුන් කොන්දක් ඇත්නම් තනතුරුවලින් ඉල්ලා අස්වී නව පාලනයක් බිහිකර ගන්නට ජනතාවට ඡන්දය දීමට අවකාශය ලබා දිය යුතුයි” යනුවෙන් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ – 13, දහවල් අගරදගුරු මැදුරේ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පැවසීය.

“මේ රටේ ජනතාව මේ පාලකයින්ට කැමැතියි කියලා කියන්න බැහැ දැන්. මොකද, අපි ඡන්දය දුන්නේ වෙනත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකට. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද නැහැ. ඒ වෙනුවට අලුත් අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරියට ගෙනෙන්න උත්සාහා කරනවා. ඒ නිසා අලුත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමග අලුත් ඡන්දයක් තියලා බලයට එන්න ඕනේ.  එතකොට ජනතාවට පුලුවනි කාටද රට භාරදෙන්නෙ කියලා තීරණය කරන්න” යනුවෙන් කාදිනල් හිමි ප්‍රකාශ කළේය.

එමෙන්ම, අධිකරණයේ අධිකාරිය හෑල්ලූවට ලක් කරන බවට තමන් චෝදනා කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගන්නා ලෙස කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලා සිටියේය.

“ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට ඇඟිලි ගැසීමට කිසිවෙකුට බලයක් නැත. 2023 මාර්තු 03 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ජනාධිපතිවරයාට, රජයට සහ පාර්ලිමේන්තුවට එක හා සමානව බැඳී ඇති බව පැහැදිලිය. එමනිසා, ඔවුන් තීරණය විශ්වාසවන්තව අනුගමනය කළ යුතුය. එසේ නොවුවහොත් ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකාරිය හෑල්ලූවට ලක් කරන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම හෑල්ලු කරනු ඇත” යනුවෙන් කාදිනල් හිමි පැවසීය.

විවිධ ජාත්‍යන්තර කණ්ඩායමි රහසිගතව මෙරටට පැමිණෙන බව ආරංචි වන බවත් ත්‍රීකුණාමලයේ වරාය පිළිබඳව නොයෙකුත් ආරංචි ලැබෙන බවත් , පෞද්ගලීකකරණය යන න්‍යාය තුළ රට තුළ තිබෙන සමිපත් නොයෙකුත් විදේශීය අයට බෙදාදීමේ වැඩපිළිවෙලක් ද සංවිධානය වෙමින් පවතින බවත් ආරංචිවන බව සඳහන් කළ කාදිනල් හිමිපාණන්, මෙවැනි ක්‍රියාකාරිත්වයක් තුළ මේ රටේ නායකයින් විසින් ඉතාම අභාග්‍යසම්පන්න කාලපරිඡ්චේදයකට ශ්‍රී ලංකාව තල්ලුකරගෙන යන බවත් එවැනි ක්‍රියා අනුමතකළ නොහැකි බවත් පැවසීය.

මාධ්‍ය හමුවෙිදී කාදිනල් හිමිපාණන් විසින් කියවන්නට යෙදුණු සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ; 

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන්ගේ විශේෂ නිවේදනය 

මේ නොබෝදා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විසින්, මේ වසරේ මාර්තු 3වනදින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම් හා නීතිපතිතුමන් හට මෙරට පළාත් පාලන මැතිවරණය සඳහා පසුගිය අයවැය මගින් වෙන්කරනලද මුදල් ලබානොදීම අත්හිටුවමින් නිකුත් කරනලද අතුරු තහනම් නියෝගය තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් ඒ පිළිබඳව උසාවියට කරුණු ඉදිරිපත් කරන ලෙස කරනලද ඉල්ලීම පිළිබඳව පළමුව  මාගේ බලවත් විරෝධය මෙසේ ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.

නඩු අංක SC FR 69/ 2023 දරණ එම මූලික අතිවාසිකම් පෙත්සමට දෙන ලද තීන්දුව තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීමක් ලෙස හුවා දක්වමින් ගරු අධිකරණයට බලපෑම් කරන්නට කතානායකතුමන්ගෙන් ඉල්ලීමක් කළ ඔවුන්ගේ මේ ක්‍රියාදාමය කිසිසේත් පිළිගත නොහැකි දෙයක් බව සඳහන් කළ යුතුය. එය නීතියේ ස්වාධීනත්වයට හා ගෞරවයට එල්ල කරනලද මරු පහරකි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සුවිශේෂි නියෝගය මගින් අප රටේහි දැනටමත් කරුණාතිලක හා වෙනත් අයෙකුට එරෙහිව දයානන්ද දිසානායක මැතිවරණ කොමසාරිස් හා වෙනත් අය (1999) 1 Sri L.R. 157    අතර ඇති වූ නඩුවේ තීරණය වූ පරිදි, අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි  14(1) වගන්තියෙහි සඳහන් වන භාෂණයෙහි හා ප්‍රකාශනයෙහි නිදහස මගින් මෙරට සියලුම පුරවැසියන් හට තම ඡන්දය භාවිතා කිරීමට ඇති අයිතියද හඳුනාගනිමින් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් හඳුනාගෙන ඇති ඡන්දය භාවිතා කිරීමට සහ නියමිත පරිදි සිදුවන ඡන්ද මගින් ජනතා නියෝජිතයන් පත් කිරීමට ඇති මූලධර්මයද පැහැදිලිවම ස්ථීරකොට තහවුරුකර තිබේ.

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා ජනරජයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය උත්තරීතරම හා අවසාන තීරණ අර්ථකතනය කිරීමේ අධිකරණය ලෙසට හඳුන්වා දෙනු ලැබ ඇත. එහිදී මූලික අතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ අධිකරණය බලය මෙන්ම නඩුකටයුතුවලදී අවසාන අභියාචනාධිකරණ බලය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලයද මෙම ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා තිබේ.

රටේහි පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකය ලෙස පැවරී ඇත්තේ නීතිරීති අවශ්‍ය ප්‍රමාණයට සම්පාදනය කිරීම සහ ඒවා අනුමත කිරීමේ බලයයි. එහෙත් ඒවා අර්ථකතනයකර ඒ ඒ අවස්ථාවන්හිදී ඒ නීති ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳ අර්ථකතනය ලබාදිය හැක්කේ ගරු අධිකරණයට පමණි. ඒ බලය පාර්ලිමේන්තුවට පවරා නොමැත. විධායකය සතුව ඇති බලය වන්නේ පාර්ලිමේන්තුව විසින් නියමකරනලද නීතිරීතිවලට අනුව රටේ පොදු ජනතාවගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීමය. විධායකයටද රටේ නීති රීති මෙන්ම, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීති රීතිද කඩකිරීමට බලයක් නොමැත.

මූලික මිනිස් අතිවාසිකම් ප්‍රඥාප්තිය අප ව්‍යවස්ථාවටද ඇතුළත්කර ඇත.  විධායකය ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටියි. විධායකයට පත්වන ජනාධිපතිතුමා දිවුරුම් දෙන්නේ ව්‍යවස්ථාව අනුව කටයුතු කරමින් එය සුරැකිව ආරක්ෂා කරන බවට පොරොන්දු වෙමිනි. විශේෂයෙන්ම පුරවැසියන්ගේ ගෞරවය සහ ප්‍රගතිය සඳහා කැපවෙන බවයි. ඒ හැර විධායකට නීති රීති සම්පාදනය කිරීමට හෝ  නීති රීති තමන්ගේ පෞද්ගලික මනාපයට ගැළපෙන අයුරින් අර්ථකතය කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට බලයක් නැත.

එලෙසම පාර්ලිමේන්තුවද නීති රීති සම්පාදනය කළත් ඒ නීති රීති ක්‍රියාත්මක කිරීම විධායකයට පැවරෙන අතර ව්‍යවස්ථාදායකය ඒ සඳහා මගපෙන්වීමක් කිරීමේ වගකීමද දරයි. එනමුත් මේ රටේ නීතිය හරිහැටි අර්ථකතනයකර එය ක්‍රියාත්මක කිරීම සනාථ කිරීමේ බලය ඇත්තේ අධිකරණයට පමණී.

මෙහිදී එක කරුණක් මතක් කළ යුතුවේ. එනම්, 2018 ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේ වැඩි බලයක්  සහිත රජයක් ඉවත් කර නිත්‍යානුකූල නොවූ රජයක් එවකට සිටි ජනාධිපතාතුමන් විසින් පත්කරනු ලැබූ මොහොතේදී, අද රට පාලනය කරන ජනාධිපතිතුමා, අගමැතිතුමන් ලෙස, තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පිළිබඳව ඉදිරිපත් කරනලද නඩු විභාගයකින්  පසු (SC FR351/ 218 ) එම දින 52කේ රජය ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකින් අහෝසි කරන්නට හා බල රහිත කරන්නට හා තමන්ට එම ධූරය සහ එම ධූරයේ බලතල ලබාගන්නට ක්‍රියා කළ අයුරුයි.

එදා අගමැතිතුමා ලෙස, අද ජනාධිපතිතුමා, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සොයා ගොස් ඒ අනුව නැවත වරක් තමන් බලයට පත්කිරීම පිළිගත්තේනම්, අද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද තීන්දුවක් පාර්ලිමේන්තුව හරහා හෑල්ලුවට ලක් කිරීමට කටයුතු කිරීම වටහාගත නොහැකි දෙයක් වේ.

මෙහිදී පැහිදිලිවිය යුත්තේ, කිසිවෙකුට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇඟිලි ගැසීමට ඉඩක් නොමැති බවයි.  පසුගිය මාර්තු 3 වනදින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවද රජයද ජනාධිපතිතුමාද බැඳී සිටින බව මතක්කර දෙන්නට කැමැත්තෙමි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ බලය හෑල්ලුවට ලක්කරමින් තමන්ගේ පාර්ලිමේන්තු වරප්‍රසාද යන දෙයට මූවාවෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ බලයට පහර ගැසීම මන්ත්‍රීවරුන්ගේ ගරුත්වයට සුදුසු නොවන දෙයක් බවද සඳහන් කරනු කැමැත්තෙමි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව එලෙස කටයුතු කරන මැති ඇමතිවරුන්ට විරුද්ධවද නීතිමය වශයෙන් ක්‍රියාකරන්නට කවුරුත් වගබලා ගනු ඇතැයි  මම විශ්වාස කරමි.

✠මැල්කම් කාදිනල් රංජිත්
කොළඹ අගරදගුරුතුමා

   2023 මාර්තු 13 වනදා

– මෙලනි මානෙල් පෙරේරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed