ඉදිරි කන්නය සඳහා ගොවියන්ට නොමිලේ මඩ පොහොර – නිමල් කොළඹිස්ස – මහනුවර

ඉදිරි කන්නය සඳහා ‍මෙරට සියලු ගොවියන්ට නොමිලේ මඩ පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පොහොර රැගත් නෞකාව ලබන මස 20 වන දින මෙරටට ළගා වන බව ද අමාත්‍යවරයා කීවේය.

කෘෂිකර්ම සංවර්ධනය සම්බන්ධයෙන් කෘෂිකර්ම නිලධාරීන් සමඟ ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී ඊයේ (20) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට ක්‍රියාත්මක කන්නය වෙනුවෙන් බණ්ඩි පොහොර ලැබුණත් මිල ඉහළ යාම නිසා ගොවියන්ගේ භාවිතයේ පහළ යාමක් තිබුණු බව කී අමාත්‍යවරයා ඉදිරි කන්නයේදී බණ්ඩි පොහොර මිල පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා  කරන බව ද කීවේය.

වී මිලදී ගැනීම සඳහා ඉල්ලුම් කොට ඇති සියලු මූල්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යංශය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දී ඇතැයි කී ඒ මහතා එම කටයුතු කාර්යක්ෂම වුවොත් ගොවියන්ට සැලකිය යුතු ආදායමක් ලබා ගත හැකිවනු ඇතැයි ද ප්‍රකාශ කළේය.

මෙවර කන්නය සාර්ථකව ක්‍රියාත්මක බව බැවින් ඉදිරි‍යේදි සහල් ආනයනය කිරීමට කිසිදු අවශ්‍යතාවයක් පැන නොනගින බව කී ඒ මහතා අවශ්‍ය නම් බාස්මතී සහල් පමණක් ආනයනය කරන බව ද වැඩිදුරටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *