13 වැනි ව්‍යවස්ථා සංශෝධනය එපා – ත්‍රෛනිකායික මහා සංඝරත්නය – මහනුවර වාර්තාකරු

රටේ ස්වාධීනත්වය භෞමික අඛණ්ඩතාව හා ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු නිර්මාණය කරන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කිසිසේත් බලාත්මක නොකළ යුතු බව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ජනපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කරති.

දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කොට ඉඩම් හා පොලිස් බලතල ඇතුළු බලතල පළාත් සභා වෙත ලබාදීම රාජ්‍යයේ පාලනය ව්‍යාකූල කිරීමට හේතුවන බවද උන්වහන්සේලා පවසති.

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන, ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව මෙම ලිපිය නිකුත්කර තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) මල්වතු අස්ගිරි මහා විහාර වලට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මෙම ලිපිය ජනපතිවරයාට ලබා දී ඇත.

ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපතිවරයා වෙත යොමුකළ ලිපියේ මෙසේද සඳහන් වෙයි.දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට විධායකය ලෙස ඔබ තුමන් කටයුතු කරන බවට සිදුකළ ප්‍රකාශය රට තුළ දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය කිරීමට හේතුවී ඇත.ඉඩම් හා පොලිස් බලතල පෞරාණික ඓතිහාසික ස්මාරක වාර්තා හා ආගමික සමිති නියාමනය ඇතුළු බලතල ක්‍රියාත්මක කිරීමට පළාත් සභා වෙත බලය ලබාදීම රට තුළ බෙදුම් වාදය තව දුරටත් ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව විවර කරන්නකි.මීට පෙරද ධූරය දැරූ විධායක ජනපතිවරු විසින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් වැලකී සිටියේ රට තුළ ඇතිවිය හැකි ව්‍යාකූලත්වයන් හා එහි අනර්ථකාරී බව අවබෝධ කරගත් නිසා ද බව ඔබ තුමන්ද මනාව දන්නා කරුණකි.ජනතා පරාමාධිපත්‍යය ආරක්ෂා කිරීමේ වගකීමෙන් බැදී සිටින විධායක ජනාධිපතිවරයා මධ්‍යම රජයේ ස්වාධීපත්‍ය බිඳ වැටීමට හේතුවන මෙවැනි ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම දැඩි මහජන අප්‍රසාදයට හේතු වේ.

රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ කලාපීය හා ගෝලීය බලවතුන්ගේ සහයෝගය ලබා ගැනීම උදෙසා යම් කොන්දේසි සඳහා එකඟ වීමට බලපෑම් එල්ල වුවද රටේ භෞමික අඛන්ඩතාව ස්වාධීනත්වය අනතුරේ හෙළන මෙවැනි යෝජනාවන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ යුතු බව මහා සංඝරත්නය ලෙස අප අවධාරණය කර සිටිමු. නිදහසින් 75 වන අභිමාන්වත් සංවත්සරය සමරණ අප ශ්‍රී ලාංකිකයින් ලෙස ජාති,ආගම් භේදයෙන් තොරව රටේ සුරක්ෂාවත් සමෘද්ධියත් උදෙසා කැපවූ ආකාරය පෙන්වා දෙන සාක්ෂි අප ඉතිහාසය තුළ බොහෝය.

දශක තුනකට අධික කාලයක් මෙරටහි අපි දැඩි අමිහිර අත්දැකීම් රාශියකට මුහුණ දී ඇත්තෙමු. එහි ඍජු බලපෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය කොට ජන ජීවිතය සුඛිත මුදිත කිරීමට රජය යුහුසුළුව කටයුතු කළ යුතුව පවතී.මධ්‍යම රජයේ වගකවයුතු කැබිනට් ඇමැති තුනතුරු දරමින් එම පළාත් වලින් පත්වන දේශපාලන නායකයින්ට ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා මෙන්ම ජනතා අභිවෘද්ධිය උදෙසා සුවිසල් කාර්යභාරයක් සිදු කිරීමට ඉඩ ප්‍රස්ථාව පවතින බව අපි හොඳාකාරවම දනිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed