ශ්‍රී ලාංකීය කාන්තාව වෙනුවෙන් පළමු කාන්තා කොමිසම බිහිවෙයි – මෙලනි මානෙල් පෙරේරා

පොදු සමාජ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවිම්, කාන්තාවන් මුහුණදෙන හිංසනය, හිරිහැර හා පීඩාවන් සම්බන්ධයෙන් මැදිහත්වන, එම ප්‍රශ්න ආමන්ත්‍රණය කරන වගකිවයුතු ආයතනයක් ශ්‍රී ලංකාව තුළ මෙතෙක් බිහිවී නැති බැවින් ඒ සඳහා අවකාශ සළසමින් ස්ත්‍රී කොමිසම් කාර්යාලය විවෘත කළේ යැයි එහි වත්මන් සම්බන්ධීකාරිකා තුෂාරි මඩහාපොල ප්‍රකාශ කළේය.

ස්ත්‍රීන්ගේ මහජන කොමිසම, ජාති, ආගම්, කුළ, පංති, ලිංග හා පක්‍ෂ භේදයකින් තොරව, දේශපාලන පක්‍ෂයකට හෝ කණ්ඩායමකට අනුගත නොවී, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා ඝෘජුවම මැදිහත්ව ස්වාධීනව කටයුතු කරනු ලබන බව ස්ත්‍රී කොමිසම් කාර්යාලය විවෘත කළ අවස්ථාවේදි තුෂාරි මඩහාපොල පැවසීය.

“ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාර කාර්යාලය”, 33/9ඒ, බුත්ගමුව පාර, රාජගිරිය යන ලිපිනයෙහි දී , ශ්‍රී ලංකීය ස්ත්‍රීන්ගේ මහජන කොමිසම් කාර්යාලය පසුගිය දා මහජනතාවට විවෘත කරනු ලැබූ අතර, 2022 මාර්තු මාසයේ පැවති කාන්තා දිනයට සමගාමීව ස්ත්‍රී කොමිසම නිල වශයෙන් ආරම්භ කර ඇත.

“වෙනදාටත් වඩා වත්මන් ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථීක, සංස්කෘතික හා දේශපාලනික අර්බුදය හමුවේ වඩාත් පීඩාවට පත්ව සිටින්නේ ස්ත්‍රීන් සහ ළමයින්. ඒ තුළ ස්ත්‍රීය ට මුහුණ දෙන්නට සිදුව ඇති ප්‍රශ්න අති විශාලයි. එවැනි තත්ත්වයක් තුළ ඔවුන් බරපතල අවධානම් තත්ත්වයකට ද මුහුණ දෙමින් සිටිනවා. ඒ ප්‍රශ්නවලට මැදිහත්ව කටයුතු කරන්නට, ඒ සම්බන්ධයෙන් ස්ථාපිත කර තිබෙන රාජ්‍ය ව්‍යුහයන්ද මේ වන විට අකර්මන්‍ය තත්ත්වයකට පත්වී තිබෙනවා. එවිට ස්ත්‍රීන් වෙනුවෙන් සවන් දෙන්නේ කවුද ?  යැයි ස්ත්‍රී කොමිසමක අවශ්‍යතාවය පැහැදිළි කරමින් , ස්ත්‍රී කොමිසමේ ආරම්භක ප්‍රධාන සංවිධානයක් වන සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ ජාතික සම්බන්ධීකාරිකා පද්මා පුෂ්පකාන්ති ප්‍රකාශ කළේය.

එමෙන් ම, නව රාජ්‍ය ප්‍රතිපත්ති සහ සංවර්ධන වැඩපිළිවෙලවල් සැකසීමෙහි දී ත් ඒ පිළිබඳ කිසිදු අවධානයක් යොමු කරන්නේ නැති බවත් සිවිල් සංවිධාන ලෙස අඛණ්ඩව මේ පිළිබඳව අදාළ රාජ්‍ය ව්‍යුහයන් සමග ඔවුන් කාලයක් පුරා විවිධ සාකච්ජා පැවැත්වු නමුත් ඒ පිළිබඳ අවධානයක් යොමු වුයේ නැති බවත් ඇය පැවසීය.


“එවැනි තත්ත්වයක් තුළ ස්ත්‍රීන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට තැනක් සහ ඒ සඳහා මැදිහත් වෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට යම් ක්‍රියාකාරී මහජන මැදිහත්වීමක බරපතල අවශ්‍යතාවයක් මතුවුණා. ඒ නිසා තමයි, අද කාර්යාලගත වන මේ ශ්‍රී ලාංකීය ස්ත්‍රීන් සඳහා වන මහජන කොමිසම බිහිවන්නේ.” යැයි පද්මා පුෂ්පකාන්ති කීවේය.

“මේ පවතින තත්ත්වය මත, නිදහස් වෙළෙඳ කලාපයේ කාන්තාවන්, වතුකරයේ කාන්තාවන් , උතුරේ ඉඩම් අහිමි වු , සැමියන් අහිමි වූ  කාන්තාවන් වගේ ම සාමාන්‍ය කාන්තාව අද සමාජය තුළ මුහුණ දෙන ප්‍රශ්න ගැටලු සමාජගත කළ යුතුයි. ඒ ප්‍රශ්න විසඳා ගන්නට සුදුසු ම පියවර ගන්නට ඇයට අත්වැලක් සැපයිය යුතුයි. ඒ ප්‍රශ්නය තුළදී ඇය ට ශක්තියක් විය යුතුයි. මේ කාරණා ඉටුකරන්නට  මේ කොමිසම ඔවුන්ට අත්වැලක් සේ ක්‍රියා කළ යුතුයි,” යැයි ස්ත්‍රී කොමිසම ආරම්භ කිරීම සඳහා ක්‍රියාකාරිව දායකත්වය සපයන සමාජ විශ්ලේෂකයෙකු සහ පුහුණු උපදේශකයෙකු වන ලලිත් අබේසිංහ මෝජෝ පුවත් සමග පැවසීය.

ජාතික ධීවර සහායෝගීතා ව්‍යාපාරයේ කාන්තා අංශයේ සම්බන්ධීකාරිකා ලවිනා හසන්ති අදහස් දක්වමින් කියා සිටියේ , “මෙය රජයේ වැඩක් හෝ යම් කිසි ආයාතනයක වැඩක් හෝ කණ්ඩායමක වැඩක් හෝ නොවෙයි. මෙය අපේ වැඩක්. කාන්තාව කියන්නේ කාගෙවත් පිහිට ලැබිය යුතු කෙනෙක් නොවෙයි. කාන්තාවට ඉතා හොඳ ශක්තියක් තිබෙනවා. එවැනි ශක්තිමත් කාන්තාවන් කිහිප දෙනෙක්ම, කාන්තා සංවිධාන කිහිපයක්ම මෙි අපේ වැඩේ අතට අරගෙන ගමන්කරන්න සූදානමි වෙලා සිටිනවා. ඒ සඳහා කාන්තාවන්ගේ ශක්තිය අගය කරන පිරිමි පාර්ශවයත් අපිත් සමග අත්වැල් අල්ලාගෙන සිටීම සතුටට කාරණාවක්. ඒ නිසා ස්වාධීනව අපේ කාන්තාවන් වෙනුවෙන් සාමුහිකව පෙනී සිටිමු. අත්වැලක් වෙමු.”  යනුවෙනි.

ස්ත්‍රීන් දෙවන පාර්ශවයක් වශයෙන් සළකන තාක් මේ සමාජය යහපත් කරන්නට හැකියාවක් නැති බව පෙන්වා දුන් නීතිඥ එස්. ජී . පුංචිහේවා, කාන්තාව පිරිමින් හා සමානව සළකන විට,  සමාජයේ අනෙක් අය හා සමානව සළකන විට, යහපත් සමාජයක් බිහිකර ගැනීමට හැකියාව ලැබෙන බව පැවසීය.

ස්ත්‍රීන් වෙත ඒ සාධාරණ තත්ත්වය ඇතිකරදීම මේ ස්ත්‍රී කොමිසම තුළින් ඇතිකරදීමට හැකියාව තිබෙනවා. මෙවැනි කොමිසමකින් අපේක්‍ෂා කරන්නේද එවැනි තත්ත්වයක් උදාකරදීම යැයි ස්ත්‍රී කොමිසම වෙත පූර්ණ දායකත්වයක් සපයන නීතීවේදී එස්. ජී. පුංචිහේවා ප්‍රකාශ කළේය.

ස්ත්‍රී සංවිධාන හා බහුජන සංවිධාන 11 කින් හා පුද්ගල ක්‍රියාකාරීන් 11 දෙනෙකුගෙන් සමන්විත වන ශ්‍රී ලාංකීය ස්ත්‍රීන්ගේ මහජන කොමිසම, වෙළෙඳ කලාප, ධීවර, ගොවි ක්‍ෂේත්‍ර නියෝජනය වන පරිදි ගොඩනැගී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed