එකම පවුලේ මියගිය 5 දෙනා අවසන් ගමන් යයි – චන්දන ජයවීර – හැටන්

නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි බස් රථයක්, වෑන් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී   සිදු වු  අනතුරින් මියගිය එකම පවුලේ සාමාජිකයන් හතර දෙනාගේ හා ඔවුන්ගේ ඥාති පුතාගේ අවසන් කටයුතු හැටන්, දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ පොදු සුසාන භූමියේදී  ඊයේ   (22) අලුයම  සිදු කරන ලදි.

මෙම අනතුරින් එකම පවුලේ සාමාජිකයන් හතර  දෙනෙකු, එම පවුලේ ඥාතී පුතෙකු  හා තවත් පුද්ගලයන් දෙදෙනෙකු  ඇතුළු හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වු බව  නානුඔය පොලීසිය පවසයි.

මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පස් දෙනෙකු, වෑන් රථයේ රියදුරා සහ ත්‍රී රෝද රථයේ රියදුරා මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

හැටන්, දික්ඔය ප්‍රදේශයේ පදිංචි  අයේෂා ෆාතිමා (42) මව, අබ්දුල් රහීම් (53) පියා, ඔවුන්ගේ දරුවන් වන  මරියම් (13) දුව, නබීහා (08) දුව, ඥාතී පුතෙකු වන අහමඩ් සෙයින්(14) වෑන් රථයේ රියදුරා ලෙස කටයුතු කරන ලද හැටන්, කුඩාගම  ප්‍රදේශයේ පදිංචි දිනේෂ් කුමාර්   (21) සහ  ත්‍රී රෝද රථයේ රියදුරා ලෙස කටයුතු කරන ලද නානුඔය, ග්ලාස්ගෝ වත්තේ පදිංචිව සිටි ෂන්මුගරාජ් (25) නැමැති අයවලුන් මෙසේ  ජීවිතක්ෂයට පත්ව තිබේ.

දික්ඔය ප්‍රදේශයේ එක පවුලේ මියගිය පුදගලයන්ගෙ දේහයන් 22 දා මධ්‍යම රාත්‍රි 12. 10 ට පමණ දික්ඔය ජුම්මා පල්ලිය වෙත ගෙන ආ අතර මොවුන්ගේ දේහයන් ඥාතීන්ට හා අනෙකුත් පිරිස්වලට අවසන් ගෞරවය දැක්වීම සඳහා පැය තුනක පමණ කාලයක් ලබා දී තිබු අතර, මෙම  දේහයන් දැක බලා ගැනීමට හා අවසන් බුහුමන් දැක්වීමට මුස්ලිම් හා සිංහල, ද්‍රවිඩ විශාල පිරිසක් එක්ව සිටියහ.

අධික බෑවුම් සහිත එම මාර්ග කොටසේදී තර්ස්ටන් විදුහලේ සිසුන් පිරිසක් අධ්‍යාපන චාරිකාවක් ගොස් නුවරඑළියේ සිට කොළඹ  බලා යමින් සිටි බස් රථයක්, දික්ඔය සිට නුවරඑළිය බලා රෝගී ඥාතියෙකු බැලීමට යමින් සිටි වෑන් රථයක් හා නුවරඑළිය දෙසට යමින් සිටි ත්‍රි රෝද රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරට පත් බස් රථය අඩි 50 ක පමණ ප්‍රපාතයකට ගොස් පස් කන්දක ගැටී ඇතැයි පොලීසිය කියයි.

මෙම අනතුරින් වෑන් රථය හා ත්‍රීරෝද රථය දැඩි ලෙස   විනාශයට පත්ව ඇති අතර, අනතුරින් තුවාල ලැබු පාසල් සිසුන් 41 කු ඇතුළු පුද්ගලන් 52 කු ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහල වෙත ඇතුලත් කොට තිබේ.

අනතුර සිදු කරන ලද බස් රථයේ රියදුරා පෙරේදා  (21) සවස අත්අඩංගුවට ගත් බවත්, ඔහු නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.

මේ පිළිබඳව නානුඔය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *