ව්‍යාජ දළඳා මාළිගාවක් – මහා නායක හිමිවරුන්ගෙන් චෝදනාවක් – මහනුවර වාර්තාකරු

ව්‍යාජ දළදා මාලිගාවක් කුරුණෑගල වදාකඩ පොතුහැර ප්‍රදේශයේ ගොඩනගා දේශීය හා විදේශීය ගිහි පැවිදි බෞද්ධයින් රවටා මුදල් හා රත්‍රං එක්රැස් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව දන්වමින් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයාගේ අතසනින් යුතු ලිපියක් ජනපතිවරයා වෙත යොමුකර ඇත.
මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ද අත්සන් කළ එම ලිපියේ මෙසේද සඳහන් වෙයි.
කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජානක සේනාධිපති නැමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර ඉදි කෙරෙමින් පවතින බව අප වෙත දැන ගන්නට ලැබී ඇත. මේ වනවිටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යාවට රැවටී මිල මුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බවට ද අනාවරණය වෙමින් පවතී.
එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල් අමරසිංහ නැමැත්තෙකු බුදු දහමට හා ශ්‍රී දළදා වහන්සේ ට අපහාස වන ආකාරයේ ප්‍රකාශයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකර ඇති බවක් දක්නට ලැබේ. මෙසේ බුදු දහමට හා ශාසනික චිර පැවැත්මට හානිකර අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාලිගා නිර්මාණය කරමින් මිත්‍යා මත ඉස්මතු කර දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගල පුර ශ්‍රී දළදා මාලිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයක් බවත් බුදු දහමට අපහාසයක් ගෙන දෙන්නක් බවත් කාටත් වැටහී යනු නොඅනුමානය.
මෙම අබෞද්ධ මිත්‍යාමත පතුරවමින් ඇතැම් මිත්‍යා මත ධාරීන් විසින් සිදු කරනු ලබන බෞද්ධ විරෝධී ක්‍රියා පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ සඳහන් කර තිබෙන පරිදි බුදු දහම ආරක්ෂා කොට පෝෂණය කිරීමේ කාර්යභාරයට බැදී සිටින රජය විසින් වහා කරුණු පරීක්ෂා කොට ආරම්භයේ දීම ඒවා වලක්වා ලීමට කටයුතු කිරීම බුදුදහමේ චිරස්ථිතිය හා අභිවර්ධනය පිණිස හේතුවන බව ජනාධිපතිතුමාගේ සුවිශේෂ අවධානයට යොමු කරන අතර මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම සුදුසු බව කරුණාධ්‍යාශයෙන් සිහිපත් කර සිටුම්හ.