නව ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට සියලු දෙනාම එක්වන්නැයි කාදිනල් මැල්කම් රංජිත් ආරාධනා කරයි – මෙලනි මානෙල් පෙරේරා

“අපේ ජීවිතය තුළින් අපිට හැකි අයුරින් අපේ සහෝදර සහෝදරියන්ට අත දෙමින්, ඔවුන් සමග එකතු වෙමින් නව ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට කටයුතු කිරීම සඳහා අපි මේ වසරේ අධීෂ්ඨාන කරගත යුතුයි. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75ක් ගතවී ඇතත්, ශ්‍රී ලාංකීකයින් අද ලෝකයේ ම වහලුන් බවට පත්වී සිටිම ඉතාම අවාසනාවන්තයි.” යැයි අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් පවසයි.

“පවතින ක්‍රමවේදය ම තවදුරටත් පවත්වාගෙන ගියහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහමුලින්ම විනාශ වී , ආර්ථීක වශයෙන් පරිහානියට පත්වී, නැතිවී යන්නට ඉඩතිබෙනවා. බුද්ධීමත් , දැහැමි ආකල්පවලින් පිරුනු අපි මේ රට මේ ආකාරයෙන් විනාශ වෙන්නට ඉඩ නොදිය යුතුයි කියා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ අපි අපේ රට මේ මහා විනාශයෙන් ගොඩගන්නට එකාවන්ව , ධෛර්යමත්ව , පරිත්‍යාගශීලිව කටයුතු කරනවා කියලා අපි අධිශ්ඨාන කරගනිමු.” යැයි කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් 2023 සිය අලුත් අවුරුදු පණිවුඩය තුළින් ඉල්ලා සිටියි.

තම තමන්ගේ ජීවිතවලට අදාළ වන බලාපොරොත්තු රැසක් පොදිබැඳගෙන නව වසරට පාතබන නමුත් ඒවා ඉටුවේවි ද නැද්ද යන්න අපි නොදන්නා අතර, බලාපොරොත්තු රහිතව ජීවත්වීමෙන් අපගේ ජීවිත අලංකාර කරගැනීමට නොහැකි වන බව ද එතුමා පවසයි.

එසේ වුව ද, වත්මන් ශ්‍රී ලංකා භූමිය තුළ සිදුවී තිබෙන විනාශකාරි ආර්ථීක පැවැත්ම නිසා  බොහෝ දෙනෙකුගේ ජීවිත බලාපොරොත්තු සුං වු ජීවිත බවට පත්වී තිබෙන බවත් , එම නිසා මේ වසරේදි විශේෂාකාරයෙන් රටට ආදරය කළ යුතු යැයි කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරයි.

“මේ වසරේදී ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වසරකට පා තබනවා. නමුත් රට තිබිය යුතු ස්ථානයේ නෙවෙයි අද ශ්‍රී ලංකාව තිබෙන්නේ. ශ්‍රී ලංකාව සමග නිදහස ලබාගත් රටවල් කිහිපයක් අද බොහෝ ඉදිරියෙන් පවතිනවා. සමාජ සාධාරණත්වය, සහෝදරත්වය , එකමුතුකම වගේ දේවල්වලින් ඒ රටවල් අද බොහෝ ඉදිරියට ගිහිං තිබෙනවා. නමුත් අපේ රටේ විවිධ නායකයින් ගේ අතින් සිදුවුණූ භායානක තෝරාගැනීම් සහ අන්තවාදි ආකල්ප නිසා අද අපි ආසියානු කලාපයේ ඉතාමත් ම දිළිඳු රටවල් අතරට වගේ ම ලෝක මට්ටමෙන් ඉතාමත් ම දිළිඳූ රටක් ලෙස හඳුන්වන තත්ත්වයට වැටිලා තිබෙනවා.” යැයි කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරයි.  

දිළිඳුකම කියන්නේ බාහිර දිළිඳූකම පමණක් නොව, ඇතුලාන්ත දිළිඳූකම බව ද සඳහන් කරන කාදිනල් හිමිපාණන්, ඒ තුළ එක්තරා ආකාරයක වහලුන් බවට පත්වී සිටින බවත් ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 75ක් ගතවී ඇතත්, ශ්‍රී ලාංකීකයින් අද ලෝකයේ ම වහලුන් බවට පත්වී සිටිම ඉතාම අවාසනාවන්ත යැයි පවසයි.
 
එබැවින්, “අපේ ජීවිතය තුළින් අපිට හැකි අයුරින් අපේ සහෝදර සහෝදරියන්ට අත දෙමින් ඔවුන් සමග එකතු වෙමින් නව ශ්‍රී ලංකාවක් ගොඩනැංවීමට කටයුතු කිරීම සඳහා අපි මේ වසරේ අධීෂ්ඨාන කරගත යුතුයි. එසේ නැතිව, පවතින ක්‍රමවේදය ම තවදුරටත් පවත්වාගෙන ගියහොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව සහමුලින්ම විනාශවී , ආර්ථීක වශයෙන් පරිහානියට පත්වී, නැතිවී යන්නට ඉඩතිබෙනවා.” යැයි වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ කිතුනු ප්‍රජාව ආමන්ත්‍රණය කරමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කරයි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed