ශ්‍රී ලංකා උසස් අධ්‍යාපනය සඳහා නවසිලන්තයේ සහයෝගය – නිමල් කොළඹිස්ස – මහනුවර

උසස් අධ්‍යාපන හා පර්යේෂණ සඳහා නවසිලන්තයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන  බව ශ්‍රී ලංකාවේ නවසිලන්නත තානාපති මිචෙල් ඇපල්ටන් (Michael Appleton) මහතා පවසයි.

කාලගුණික, කිරි නිෂ්පාදන ඇතුලු පශු සම්පත් ආශ්‍රිත පර්යේෂණය සඳහා නවසිලන්තයේ දීර්ඝ කාලීන සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දීම  අපේක්ෂා කරන බව ද ඒ මහතා කීවේය.

හෙතෙම මෙම අදහස් පළ කරන ලද්දේ පේරාදෙණිය විශ්ව විද්‍යාලීය සනාථන මන්දිරයේදී ඊයේ (21) ආරම්භ වූ ජාත්‍යන්තර සහයෝගීතාව පුළුල් කිරීම නිමිත්තෙන් පැවැති වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් සඳහා ඉන්දියාව, රුසියානු සමූහාණ්ඩුව, ජර්මනිය, ජපානය හා නවසිලන්තය යන රටවල තානාපති කාර්යාලවල සම්බන්ධීකරණයෙන් සිසු සහයෝගීතාව පුළුල් කිරීම මේ යටතේ සිදුවේ. ඒ සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ ජාත්‍යන්තර සබඳතා කාර්යාලයක් විවෘත කිරීමට ද ඉදිරියේදී සැලසුම් කොට තිබේ.

ඉදිරි තාක්ෂණික ලෝකය සඳහා පර්යේෂණ සඳහා ඉහළ වැදගත්කමක් ඇතැයි කී නවසිලන්ත තානාපතිවරයා, පේරාදෙණිය සිසුන් සඳහා නවසිලන්තයේ අධ්‍යාපන හා පර්යේෂණ ශිෂ්‍යත්ව ලබා දෙන බව ද කීවේය.

වර්ෂ 1950 සිට නවසිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශවීය සබඳතා පවතින බව ද නවසිලන්ත තානාපති මිචෙල් ඇපල්ටන් (Michael Appleton) මහතා පැවසීය.

සමාරම්භක උත්සවයට සහභාගීවූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා අදහස් දක්වමින්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා පර්යේෂණ කාර්යාලයක් ආරම්භ කරන බව ද කීවේය.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් අනුව පන්සියයක් වැනි ස්ථානයක පවතින පේරාදෙණිය විශ්ව විද්‍යාලය තව දුරටත් ඉහළ ස්ථානයකට ගැනීම සිය අපේක්ෂාව බවත් ඒ මහතා සඳහන් කළේය. විශ්ව විද්‍යාලය තුළ සිදුකරන පර්යේෂණ සඳහා වාණිජ වටිනාකම් ලබාදීමට සුදුසු වැඩසටහනක් ආරම්භ කරන බව ද උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා, ජාත්‍යන්තර පර්යේෂණ කාර්යාලයේ අධ්‍යක්ෂ මහචාර්ය සී.එන්.ආර්.ඒ.අලස් මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *