වසන්තලා නිදහස් කරනු වෙනුවට පොලිස් මර්ධනය සහ රටේ මුදල් නාස්තිය – මෙලනි මානෙල් පෙරේරා

දින 90ක් රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය හා භීක්‍ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරුවන් හට තවමත් නිදහස ලැබී නොමැත. දෙස් විදෙස් සංවිධාන රැසක් ම ඔවුන් දෙදෙනා නිදහස් කරන්නැයි ආණ්ඩුවට බල කළහ. ඔවුන් දෙදෙනාගේ සහ PTA යටතේ රඳවා සිටින සියලුම පුද්ගලයින් නිදහස් කරන්නැයි ඉල්ලා ඊයේ කොළඹ පුරා උද්ඝෝෂණ කිහිපයක් ම පැවැත්වුණි. ජල ප්‍රහාර සහ කඳුලුගෑස් ප්‍රහාරවලින් පොලීසිය උද්ඝෝෂකයින් හට පිළිතුරු දුණි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත ලබා ගත් රැඳවුම් නියෝගයකට අනුව දින 89 ක කාලයක් රඳවා තබා ගැණුනු  වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි යන ශිෂ්‍ය නායකයින් දෙපළ, ශ්‍රි ලංකා මානව හිමිකම් සංවිධානය, එක්සත් ජාතින්ගේ ක්‍ෂමා සංවිධානය සහ තවත් දෙස් විදෙස් සංවිධානවල සහ මෙරට සිවිල් සංවිධානවල දැඩි බලපෑම හමුවේ නොවැම්බර් 17 වෙනිදා සවස් කාලයේදි රක්‍ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන්නැයි ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් සංවිධානය කරමින් නොවැම්බර් 18 කොළඹ ස්ථාන කිහිපයක  දී පැවති විරෝධතා කිහිපයක් ම විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය. සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති නියෝජිතයෝ ද විරෝධතාවන්ට සහභාගි වූහ.

විරෝධතාකරුවන් පසු පසින් පන්න පන්නා හරස් වීථීවලදී ද දියත් කරනු ලැබූ මෙම පහරදීම් මග දෙපස නිවෙස්වල මෙන් ම වීථීවල ගමන්කළ පුද්ගලයින් දැඩිලෙස හෙළාදුටුවෝය.

“මේච්චර විශාල පොලිස් හා ආරක්‍ෂක කණ්ඩායම් යොදවලා මෙහෙම වතුර ප්‍රහාර සහ කඳුලුගෑස් ගහන්න මේ ආණ්ඩුවට මෙච්චර සල්ලි තියෙනවාද? මේච්චර කැත විධියට මේ නාස්තිකරන්නේ රටේ ජනතාවට සහන සළසන්න පුලුවන් මුදල් නේද? යැයි කිහිප දෙනෙකුම ප්‍රකාශ කළහ.

පෙළපාලි යෑම සහ ජන රැළි පැවැත්වීම පොලීසිය විසින් කිසිඳූ නීතිමය හේතුවක් නොමැතිව මර්ධනය කළ අතර ඒ සියලු මර්ධන හමුවේ කොළඹ නගරය පුරා තැන තැන ප්‍රදේශ කිහිපයකම මහ මාර්ගවල සිට උද්ඝෝෂණ දියත් කළ අතර විරෝධතාකරුවන් එම පොලිස් මර්ධනයට අභියෝග කළහ. පන්න පන්නා පහරදුන්න ද කණ්ඩායම් වශයෙන් යළි යළිත් සිය ශිෂ්‍යනායකයින් දෙදෙනා සහ PTA යටතේ රඳවාගෙන සිටින සියලු දෙනා නිදහස් කරන්න කියා ඉල්ලා සිටිමින් විරෝධතාව දියත් වුණි.

අන්තර් විශ්වවිද්‍යාලීය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු ටෙරන්ස් රුද්‍රිගෝ උද්ඝෝෂණය අතරදී අදහස් දක්වමින් “වසන්ත සහ සිරිධම්ම හාමුදුරුවෝ රඳවා තබාගැනීමේ සැළැස්ම තාමත් ඉවර නැහැ. ඔවුන් බලන්නේ කෙසේ හෝ තවත් මාස පහක් හයක් මේ දෙදෙනාව රඳවා තියාගන්න. මෙතෙක් කල් උද්ඝෝෂණ කරන්න, පාගමන් යන්න දෙන්න බැහැ කිව්වා. නමුත් අද අපි කරලා පෙන්නුවා බැහැ කියපු ඒවා කරන්නේ කෙසේද කියලා.” කීවේය.

“එක්සත් ජාතින්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ඉදිරිපිට පොලිස් සන්නද්ධ රථ ගාල්කරලා සන්නද්ධ හමුදාව දාලා ප්‍රහාරයක් එල්ලකරනවා කියන්නේ ඉතාම බරපතල තත්ත්වයක්. අපි එක්සත්ජාතීන්ගේ සංවිධානයේ කොළඹ නේවාසික නියෝජිතවරයාගෙන් අහනවා එහෙම කරන්න පුලුවන්ද කියලා?” යැයි ඇතැම් සිවිල් සංවිධාන නියෝජිතයින් විමසා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *