නුවර එළියේ සෞඛ්‍ය ගැටලු – මහනුවර වාර්තාකරු

අවම සෞඛ්‍ය දර්ශක වාර්තා වන දිස්ත්‍රික්කයක් ලෙස හඳුනා ගෙන පෝෂණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබෙන නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ස්ථිර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු හෝ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු නොමැති වීම නිසා ගැටලු රැසක් පැන නැගී තිබේ.
කලක පටන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධූරයේ වැඩ ආවරණය කරනු ලබන්නේ රිකිල්ලගස්කඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී නිශ්ශංක විජේවර්ධන මහතා විසිනි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ හා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ධූර දෙකම පුරප්පාඩුව තිබෙන්නේ මහනුවර දිස්ත්‍රික්කය සඳහා නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු දෙදෙනෙක් සිටිත්දී වීම විශේෂත්වයකි.
මහනුවර දිස්ත්‍රික්කය සඳහා අනුමත නියෝජ්‍ය සෞඛ්‍ය සේවා ධූර ගණන එකකි. එසේ තිබියදී වෛද්‍යවරු දෙදෙනෙකු අදාළ තනතුරු දරමින් වැටුප් ලබා ගන්නා අතර ඒ සම්බන්ධයෙන් විගණන විමසුමක් ද සිදුකර තිබේ.

මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ධූරය හිස්ව තිබියදී එහි වැඩ බලනු ලැබුවේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිදර්ශනී පෙරියසාමි මහත්මිය යි. එම කාලයේ දී වෛද්‍ය චින්තක බටවල මහතා ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු ලෙස මහනුවරට පත්ව ආවේය.
නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ වෛද්‍ය සේනක තලගල මහතා 2020 වසරේදී මහනුවරට පැමිණීම නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අදාළ තනතුර පුරප්පාඩු විය.
වෛද්‍ය සේනක තලගල මහතා මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරත්දී මේ වනවිට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු ලෙස නිදර්ශනී පෙරියසාමි මහත්මිය හා චින්තක බටවල මහතා කටයුතු කරති.
දිස්ත්‍රික්කයක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කර තිබෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අයත් වන්නේ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු හා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු පමණි.
මෙලෙස මහනුවර දිස්ත්‍රික්කය තුළ අනුමත සංඛ්‍යාව ද ඉක්මවමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු දෙදෙනෙකු සිටියදී නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ස්ථිරව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු හෝ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු නොමැති වීම බරපතල තත්ත්වයකි.
නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ස්ථිර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු හෝ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයෙකු නොමැති බව සත්‍යයක් නමුත් එය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය කටයුතු වලට බාධාවක් වී නොමැති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed