ලීස් ට්‍රස් ටත් අගමැති ධුරය අහිමි වෙයි ද ?

( ලන්ඩන් ඔක් 17) පසුගිය දා බ්‍රිතාන්‍ය අගමැති පදවියට පත් වු ලීස් ට්‍රස් හට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට කරනු ලබන බලපෑම් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින බව අද ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කළාය.

ඇයට විරුද්ධව කොන්සර්වේටිව් පාක්ෂිකයින් මෙන්ම ව්‍යාපාරිකයින් ද විසින් එල්ල කරන ලද දැඩි විවේචන කිහිපයක්ම  ‘ ද ෆයිනෑන්ෂිල් රිවිව්’ අන්තර් ජාල පුවත් පත් අද වාර්තා කොට තිබිණ.

එම වාර්තාවට අනුව අගමැතිනි ලීස් ට්‍රස් විසින්  නව මුදල් අමාත්‍යවරයා ලෙස ජෙරමි හන්ට් පත් කිරීම හා ආර්ථිකය ස්ථායිතාවය පිණිස බලපාන සාධක ගණනාවක් සම්බන්ධයෙන් ඇය ගෙන තිබෙන ප්‍රතිපත්තිමය තීන්දු ඇයට විරුද්ධව එල්ල වන ප්‍රධානම විවේචන අතර කැපි පෙනෙයි. ඇයට සහයෝගය දක්වන කොන්සර්වේටිව් පාක්ෂිකයින් ගේ තර්කය වන්නේ ‘ මෙම විවේචන ඉදිරිපත් වන්නේ මහා මැතිවරණයක් ඉලක්ක කොට ගත් මන්ත්‍රීවරුන්’ ගෙන් බවයි.

බ්‍රිතාන්‍ය අගමැතිනිය විසින් මේ වන විට මහා පරිමාණ සමාගම් වෙත බ්‍රිතාන්‍ය පවුම් බිලියන 18කට ආසන්න ප්‍රමාණයක බදු සහන ලබා දි තිබෙන අතර, එරට ව්‍යාපාරික ප්‍රජාව ගේ මතය වන්නේ එම සහනය ප්‍රමාණවත් නොවන බවයි.

මාක් ඇන්ඩ් ස්පෙන්සර් සමාගමේ හිටපු අධිපති සහ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ස්ටුවර්ඩ්  රොස්  ‘ බ්‍රිතාන්‍ය අගමැතිනය ව්‍යාපාරික ප්‍රජාවගේ සහ ආයෝජකයින් ගේ විශ්වාසය දිනා ගැනීමට අසමත් වි’ ඇති බව ප්‍රකාශ කරයි.

කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රිවරුන් තිදෙනෙකු ද ඇය කෙරෙහි පක්ෂයේ විශ්වාසය හීන වි ඇති බැවින් ඇය ඉතා ඉක්මනින් ඉල්ලා අස්වීම වඩාත් සුදුසු යැයි ප්‍රකාශ කර සිටියෝය.

බ්‍රිතාන්‍ය ඉඩම් ආයෝජන බැංකුවේ  හිටපු සභාපති සහ ආයෝජන බැංකුවක් වන Evercore හි ජ්‍යෙෂ්ඨ උපදේශක ඩේම් ඇලිසන් කාර්න්වාත් මහත්මිය පැවසුවේ අගමැතිනි  ට්‍රස් ට  “ජනවරමක්, පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් සහයෝගයක්, පිළිගත හැකි ආර්ථික ප්‍රතිපත්ති සහ අධිකාරියක් නොමැති” බවයි. අගමැතිනි ට්‍රස්  “මෙතෙක්  සේවය කළ කෙටිම අගමැතිවරිය ලෙස වාර්තා පොත්වලට ඇතුළත් විය යුතු” බව ඇය පැවසුවාය.

හතළිස් හත් හැවිරිදි ලීස් ට්‍රස් 1996 සිට කොන්සර්වේටිව් පක්ෂයෙන් සාමාජිකාවක් වන අතර 2010 සිට කොන්සර්වේටිව් පාක්ෂික  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ක්‍රියා කරයි. අගමැති පදවියට පත් වීමට පෙර ඇය ඩේවිඩ් කැමරන්, තේරේසා මේ හා බොරිස් ජොන්සන් යන අගමැතිවරුන් යටතේ විවිධ කැබිනට් පදවි දරා තිබිණ. පසුගිය සැප්තැම්බර් 6 දින දි ඇය, බොරිස් ජොන්සන් ගේ හිස් වු අගමැතිධුරයට කොන්සර්වෙටිව් පාක්ෂික නියෝජිත සම්මේලනයේ දි ඇය අගමැති ධුරයට තෝරා පත් කෙරිණ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *