මහනුවර කොල්ල කල්ලියක් – මහනුවර වාර්තාකරු

පාසැල් සිසුන් බියගන්වා ඔවුන්ගේ මුදල් කොල්ලකන කල්ලි කිහිපයක් පොලිස් ඇසට වැලි ගසමින් මහනුවර නගරය තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ.
පොලිස් නිලධාරීන් බව කියමින් පාසැල් සිසුන්ගේ මුදල් පසුම්බි සහ පොත් බෑග් පරීක්ෂා කර ඒවාහි ඇති මුදල් බලහත්කාරයෙන් ලබා ගන්නා කණ්ඩායම් සම්බන්ධව පොලීසියටද පැමිණිලි ඉදිරිපත්ව ඇත.
පොලීසියට දැනුම් දී තිබුණහොත් බරපතල ගැටලු වලට මුහුණ දීමට සිදුවනු ඇති බවට මුදල් පැහැර ගැනීම් සිදුකරන පුද්ගලයින් සිසුන්ට තර්ජනය කර තිබෙන අවස්ථා ද වාර්තා වී තිබේ.
මෙයට අමතරව මහනුවර වැව රවුම හා උඩවත්ත කැලේ ප්‍රදේශ වලදී පෙම්වතුන් බියගන්වා ඔවුන් සතු මුදල් කොල්ල කෑමේ සිදුවීම්ද මේවන විට ඉහළ ගොස් ඇත.
ඇමතුමක් ලබා ගැනීම සඳහා කාන්තාවන් ගෙන් ජංගම දුරකතනය ඉල්ලා ගෙන එය යළි ලබා නොදී පළායන කණ්ඩායමක් ද මේවන විට මහනුවර නගරයේ ක්‍රියාත්මකය.
මෙලෙස රැගෙන යන ජංගම දුරකතන කෑලි වලට විකිණීම හේතුවෙන් ඒවා යළි සොයා ගැනීම අපහසු වී තිබෙන බව පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *