ලංකාවේ වීදි දරුවන් සහ ඔවුන්ගේ උප සංස්කෘතියේ වෙනස් වීම (පර්යේෂණාත්මක සංචාරයක් ඇසුරිනි) – කමනි හෙට්ටිආරච්චි

සියවස් ගණනක් තිස්සේ විවිධ ජාතීන්ට යටත් ව පසු කලෙක ඉංග්‍රීසි ජාතිකයින්ගේ බලකොටුවක් ව පැවැති ඉපැරණි කළුතර නගරයේ වර්තමාන ප්‍රධාන බස් නැවතුම්පළේ සිට කළුතර බෝධීන් වහන්සේ දෙසට මම පා ගමනින් යමින් සිටියෙමි.  ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස්ඵල බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණෙන සුදුවතින් සැරසුන සැදැහැවත් බෞද්ධ බැතිමතුන්ගෙන් කළුතර නගරය පිරී ගොසිනි.

අධි සුඛෝපභෝගී වාහනවලින් බැස සිය මා පියන්ගේ ඇඟේ දැවටෙමින් සුරතල් බස් කියමින් නෙළුම් මල් මෙන්ම ලොකු මල්වට්ටි ද ඇතැති ව සුදෝ සුදු වතින් සැරසුණු කුඩා දරුවන් ද මෙහිදී මගේ නෙත ගැටිණි. ඒ ඔවුන්ගේ ලෝකය විය.

ලංකාවේ සිංහල බෞද්ධ බැතිමතුන්ට ආගමික වශයෙන් වැදගත් සේ සැලකෙන වප් පුර පසළොස්වක පොහොය දිනයේ සිය අනාගත සුබ ප්‍රාර්ථනා ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට පැමිණෙන සිය ගණන් බැතිමතුන් අතරේ ඔවුන්ගෙන් පිහිටක් ඇවැසිව වීදි සරණ රටේ අනාගත පරපුර සොයමින් මම ඉදිරියට යමින් සිටියෙමි.

වීදි සරණ දරුවන් සහ අනාගත පරපුර

වප් පුර පසළොස්වක පොහොය දිනයේ සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමවා ලූ ජය ශ්‍රී මහබෝධීන් වහන්සේගෙන් පැවැත එන කළුතර බෝධියේ සිසිලස පරයමින් මධ්‍යහ්නයේ අව් රශ්මිය, අවට පරිසරය දවා හළු කළේ ය. සැදැහැවත් බැතිමතුන් සමහරු කුඩයකින් ද තවත් අය සුදු සළුවකින් ද ඇතැම් උපාසිකාවන් තම සාරිපටින් ද ආවරණය ලබමින් බෝධිය වැඳ පුදා ගැනීමට පේවී සිටියහ. කළුතර බෝධි වැට ආරම්භයේ සිට කළුතර පාලම දක්වා මාර්ගය දෙපස මට දර්ශනය වූයේ ගිනි ගහන අව් රශ්මිය නොතකමින් බැතිමතුන්ට මල් , පහන් තිර, හඳුන්කූරු අලෙවි කරන වැඩිහිටියන්, අත දරුවන් සමග සිටින මවුවරුන්, විවිධ ආබාධවලට ලක් වූවන් සහ වයෝවෘද්ධ යාචක ගැහැණුන් සහ පිරිමින්ය.

“නෝනා හඳුන්කූරු පෙට්ටියක් ගන්න”

මෙම ඛේදනීය දර්ශනය වෙත අවධානයෙන් ඒ දෙසට යමින් මා ඉදිරියේ එක්වර පෙනී සිටියේ ඉහින් කනින් දාඩිය පෙරා ගත් අවුරුදු හතක හෝ අටක වයසැති පිරිමි දරුවෙකි. “නෝනා, හඳුන්කූරු පෙට්ටියක් ගන්න.” දරුවා මගෙන් ආයාචනා කළේ ය. මා මෙහි පැමිණියේ ඔවුන් පිළිබඳ තොරතුරු සොයන්නට බව නොපවසා මම ඔහුගෙන් “පුතා, කොහෙද ඉන්නේ.? තනියම ද? ආවේ” යැයි විමසුවෙමි. හඳුන්කූරු පෙට්ටියක් නොගෙන තොරතුරු විමසන මේ සැදැහැවතිය එන්නේ කුමකටදැයි තේරුම් ගත නොහැකි වූ දරුවා, ප්‍රශ්නාර්ථයක් රැඳි දෙනෙතින් මගේ මුහුණ දෙස බැලීය. “ අම්මා එක්ක ආවේ අම්මා ස්ටේෂන් එක ගාව ඉන්නවා.” “පුතේ ඔයාට මා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද? මම ඔයාට උදව්වක් කරන්නම්.” මගේ ප්‍රශ්නයත් සමග දරුවාට පුංචි මානසික අල්ලසක් දෙන්නට මට සිදු වූයේ, හඳුන්කූරු ටික විකුණා ගැනීමට තිබූ කාලය මා විසින් උදුරා ගන්නා බවට ඔහු තුළ ඇති වූ සිතුවිල්ල දරුවා නොසන්සුන් කර ඇති බව මට හැඟී ගිය බැවිනි. “ඉස්කෝලේ යනවා. හැමදාම මෙහේ එන්නේ නෑ.” දරුවා පිළිතුරු දුන්නේය. “ඇයි? පුතා හඳුන්කූරු විකුණන්නේ, තාත්තා රස්සාවක් කරන්නේ නැද්ද?” මම විමසීමි. “තාත්තා කුලී වැඩ කරන්නේ. ඒ හම්බ වෙන සල්ලිවලින් තාත්තා බොනවා. අපිට දෙන්නේ නෑ. දරුවා උත්තර දුන්නේ ය.” “ඔයා විතරද ඉන්නේ”. “නෑ මල්ලි කෙනෙක් ඉන්නවා. අම්මයි මල්ලියි තමයි ස්ටේෂන් එක ගාව ඉන්නේ.” “මම ඔයාගේ පින්තූරයක් ගන්නද? ”අනේ එපා ඉස්කෝලේ ටීචර්ලා අපිට බනිනවා. හඳුන්කූරු විකුණන්න යන්න එපා කියලා අපිට කියලා තියෙන්නේ. පොටෝ ගන්න නම් අම්මාගෙන් අහන්න ඕන” යැයි පිළිතුරු දුන් දරුවා, අම්මා සිටින ඉසව්වට යන බවක් මට හඟවා පිරිස අතරින් අතුරුදහන් වූයේ, මගෙන් ගැලවීමට හැකි වූ පළමු අවස්ථාවේදීම ඉන් උපරිම ඵල නෙළා ගනිමිනි.

මවු ‐ පිය අධීක්ෂණයේ සිටින වීදි දරුවන්

වීදි දරුවන් සොයා කෙරුණු මෙම පර්යේෂණාත්මක සංචාරයේදී පැහැදිළි වූ ප්‍රධාන කාරණයක් වූයේ, සමස්තයක් ලෙස ලංකාවේත් කළුතර සහ ඒ අවට ප්‍රධාන නගරවලත් අතීතයේ මෙන්, වීදිය තමන්ගේ නිවහන කර ගත් දරුවන් සීමාසහිත බව ය. මේ වන විට වීදි දරුවන් සිටින්නේ, වැඩිහිටියන් සමග හෝ ඔවුන්ගේ නිරීක්ෂණය යටතේ ය.

කළුතර පූජා භූමියේදී ඊළඟට මට මුණ ගැසුණේ, පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක් වූ වරුණි ඉමේෂා නම් වූ කාන්තාවකි. වයස අවුරුදු දෙකහමාරක දරුවෙක් ඇකයේ හොවා ගත් ඇය, පහන්තිර විකුණයි. ගිනි මද්දහනේ වුව ද දරුවා අව්වට නිරාවරණය වී සිටියේය. ඕ පහන්තිර පැකට්ටුවක් මිලදී ගන්නා ලෙස බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නීය. “මේ පහන්තිර ඕගොල්ලොද හදන්නේ?” මම විමසීමි. “නැහැ. වෙන කෙනෙක් හදන්නේ. අපි එයාගෙන් අරන් රුපියල් දහයක ලාභයක් තියන් විකුණනවා.” මම ඇයත් සමග කතා කරනු දුටු ඔහුගේ ස්වාමියා පාරේ අනෙක් පැත්තේ සිට අප කතා කරන ස්ථානය වෙත පැමිණියේ, හීයක වේගයෙනි.

වඩු වැඩ, කුලී රැකියා අහිමිව දරුවන් සමග මහ මගට

වරුණි පැවසූ පරිදි ඔවුන් දිනපතා මෙහි පැමිණෙන්නේ නැත. පෝය දිනවල සහ ඇතැම් නිවාඩු දිනවල පමණක් මෙහි පැමිණෙති. ඇයගේ සැමියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙකි. නමුත් රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ ඔහුගේ වෘත්තිය අසාර්ථක වී ඇත. කුලී වැඩ ආදී වෙනත් ජීවනෝපාය මාර්ග අහිමි වීම නිසා පහන්තිර විකිණීමේ වෘත්තියට ස්වාමියා සමග ඇය යොමු වී ඇත. මේ වන විට ඔහු සිය වඩු කාර්මික වෘත්තිය අතහැර අනෙක් දිනවල මාළු විකිණීම කරනු ලබයි.

ඔවුන් පදිංචි වී සිටිනුයේ ස්වාමියාට අයිති නිවසකය. වේලක් හැර වේලක් හෝ සපයා ගැනීම දුෂ්කර වූ පසු, දරුවා කුස ගින්නේ තැබීමට නොහැකි වූ තැන හිඟා කා හෝ තමන් සහ දරුවන් ජීවත් විය යුතු බවට තීරණය කළ වරුණි සහ ස්වාමියා, මේ රැකියාව සඳහා යොමු වී තිබුණේ මාසයක පමණ සිටය. එම නිසා ආසියාවේ ආශ්චර්යමත් රට බවට ශ්‍රී ලංකාව පත් කරනවා යැයි කියූ නායකයින් සිටි රටක් ළමා මන්දපෝෂණයෙන් ආසියාවේ දෙවන ස්ථානයට පත් වෙද්දී, වරුණිලා දරුවන් රැගෙන ජීවත් වීම සඳහා මහමගට පැමිණීම එතරම් අරුමයක් නොවේ.

“මට ගෙයක් දොරක් නෑ. ඉන්නේ කුලියට”

මම මදක් ඉදිරියට ඇදුනෙමි. තවත් තාන්තාවක් ගැහැණු දරුවෙකු සමග වෙළඳාමේ නිරත වන්නීය. මා සමග දොඩමළු වූ ඇය, “මගේ නම චාමලී වසන්තා කුමාරි. මගේ මහත්තයා ජීවතුන් අතර නෑ.” “මේ දරුවා විතරද ඉන්නේ?” මම විමසීමි. “නෑ. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. අනිත් අය කසාද බැඳලා. මේ දුවට අවුරුදු පහයි.“මේ ආදායමෙන් ජීවත් වෙන්න පුළුවන් ද?” මම ඇසුවෙමි. “කොහොමහරි දවසේ වියදම හොයා ගන්න පුළුවන්. ඉන්න හිටින්න කියලා මගේම ගෙයක් දොරක් නෑ. ඉන්නෙත් කුලියට. වෙනදා වගේ ආදායම සරු නෑ. ජීවත් වෙන්නේ අමාරුවෙන්.”

“මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා.මම කන්නේ දවසකට එක වේලයි.”

පනාපිටිය ප්‍රදේශයේ සිට කළුතර බෝධිය අසලට පැමිණ සිය දරුවා සමග බැතිමතුන්ගෙන් ආධාර උපකාර ඉල්ලන ඇයගේ නම ශ්‍රියානිය. “මට ළමයි හතර දෙනෙක් ඉන්නවා. මේ ඉන්න ළමයා නිවුන්නු. එයාට අවුරුදු දෙකහමාරයි. මෙයාලා ලැබෙන්න ඉන්න කාලේ මහත්තයා අන්තරා වුණා. අම්මයි තාත්තායි ළඟයි මම ඉන්නේ.  දවසකට එක වේලයි මම කන්නේ. ඒකත් බෝධිය ළඟින් බත් මුලක් හම්බවුණොත් විතරයි. ලොකු ළමයට අවුරුදු 13 යි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිට උදව් කරනවා. ඒ උදව් කළාට දරුවෝ හතර දෙනනේ නඩත්තු කරන්න ඒක මදි. ඒ නිසා මම සෙනසුරාදා, ඉරිදා පෝය දවස්වල මම බෝධිය ළඟට එනවා.”

දරුවන් වදන්න යැයි කියූ දානපති කුලඟනන් කොහිද?

ශ්‍රියානිගේ කතාව ඇසූ මට සිහිපත් වූයේ සිංහල කාන්තාවන් දරුවන් දෙදෙනෙකුට වඩා බිහි කළ යුතු බවත් එවැනි දරුවන් තම සංවිධාන බලා කියා ගන්නා බවත් කලකට පෙර රට ඉදිරියේ පැවසූ සිංහල බෞද්ධ දානපති කුළඟනන් සහ ඔවුන්ගේ සංවිධාන මේ දුෂ්කර අවධියේ කොහේ සිටිනවා ඇති ද? කියා ය.

අපිට දෙන්නත් දැන් මිනිස්සුන්ට සල්ලි නෑ සිවු දරු මවක්

සිංහල බෞද්ධ සැදැහැවතුන්ගේ භූමියෙන් මිදුණු මම ඊළඟට ගමන් කළේ කළුතර, වෙට්ටුමඩ මුස්ලිම් පල්ලිය අසල දරුවන් සමග යාචක වෘත්තියේ යෙදෙන මවුවරුන් සොයාය. ඊළඟට මා හා දෝඩමළු වූයේ කළුතර , නෑබඩ ප්‍රදේශයේ සිට පැමිණ සිටි වයස අවුරුදු 46 ක් වූ මල්ලිකා ශාන්තිය. ඇයගේ අතේ සිටින දරුවා සමග ඇයට දරුවන් හතරකි. ඇයගේ ස්වාමියා ද ඇයව හැර ගොසිනි. “මගේ ලොකු ළමයගේ වයස අවුරුදු 18 යි නෝනේ. එයා කුලී වැඩ කළා. පලංචියකින් වැටිලා එයාගේ තුනටිය පණ නෑ. ඉස්කොලේ යන දරුවෙක් ඉන්නවා. සතියකට දවස් දෙකක් විතර තමයි මම මෙතනට එන්නේ. මිනිස්සුන්ට තියෙන ආර්ථික ප්‍රශ්න නිසා අපිට රුපියල් දහයක්වත් දෙන්න ඒ අයට බෑ. මම ඒක තේරුම් අරන් ඉන්නේ නෝනා. රුපියලක් දුන්නත් මම ඒක සතුටින් බාර ගන්නවා. මේ දවස් දෙකේ ඇවිත් හම්බ කර ගන්න එකෙන් තමයි, දරුවා ඉස්කෝලෙ යවලා ජීවත් වෙන්නේ. අපිට වෙන ජරා වැඩ කරලා පුරුද්දක් නෑ නෝනේ. අපි මේ ගම්වල මිනිස්සු.” ඇයගේ උරහිසේ හිස හොවාගෙන සිටි දරුවාගේ හිසට එක එල්ලේ පතිත වන අවු රශ්මිය, අතින් ආවරණය කරමින් ඈ පැවැසුවාය.

වීදි දරුවන්ගේ පෞරුෂ වර්ධනය

ඉහතින් සඳහන් කළ කුඩා දරුවන් මහ පාරේ කලදවස ගෙවනු  දකින විට මට සිහිපත් වූයේ, සිග්මන් ප්‍රොවිඩ්වය. ඔහුට අනුව දරුවන්ගේ පෞරුෂ සංවර්ධනය සිදු වනුයේ වයස අවුරුදු 01 සිට 05 දක්වා කාලය තුළය. තම ළදරු විය දූවිලි මුසු මහ මග දැඩි අව්රශ්මියෙන් හෙම්බත්ව ගෙවා දමන මේ දරුවන්ගේ අනාගතය කෙබඳු වේද? පෞරුෂ වර්ධනය කෙසේ වේද?

නීති රීති හා කොවිඩ් නිසා වීදි දරුවන්ගේ අඩුවක්

සාම්ප්‍රදායික වීදි දරුවා වෙනුවට වීදියට එන නව පරපුර

වීදිය, නිවස හෝ සිය ජීවනෝපාය කර ගත් ප්‍රමාණවත් ආරක්ෂාවක්, අධීක්ෂණයක් නොමැති වූත් වයස අවුරුදු 18 ට අඩු ගැහැණු හෝ පිරිමි දරුවන් වීදි දරුවන් ලෙස ජාත්‍යන්තර යුනිසෙෆ් සංවිධානය අර්ථ දක්වා ඇත. ලෝකයේ සෙසු රටවල් හා සැසදීමේදී ලංකාවේ වීදි දරුවන්ගේ සාපේක්ෂ අඩුවක් දක්නට ලැබේ. කෙසේ නමුත් ලංකාවේ වීදි දරුවන් සම්බන්ධයෙන් කෙරෙන සාම්ප්‍රදායික අර්ථ දැක්වීම්වල වලංගුබාවය හීන වෙමින් පවතින බව ඒ සම්බන්ධයෙන් අප කළ පර්යේෂණාත්මක සංචාරයේදී පැහැදිළි විය. පවතින නීති රීති සහ වෙනත් හේතූන් මත සාම්ප්‍රදායික වීදි දරුවන්ගේ අඩුවක් දක්නට ලැබුණ ද යාවත්කාලීන වී ඇති ඔවුන්ගේ නව උප සංස්කෘතිය තුළ බරපතල වැඩිවීමක් පෙන්වුම් කරන බවට උපකල්පනය කළ හැකි ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *