කාම්බෝජයේ දෑත් ද ලංකාව දෙසට – මහනුවර වාර්තාකරු

පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස පීඩා විඳින ජනතාවට සහන සැළසීම සඳහා කාම්බෝජයේ සංඝරාජ හිමි ඇතුළු එරට මහා සංඝරත්නය හා දායක පිරිස එක්ව රුපියල් දෙකෝටි හතළිස් ලක්ෂයක වටිනාකමින් මුදල් හා වියළි ආහාර ද්‍රව්‍යය තොගයක් මෙරටට ලබාදී තිබේ.
ත්‍රෛනිකායික මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මගින් මෙම වියළි ආහාර ද්‍රව්‍යය හා මුදල් ජනතාව වෙත ලබා දීමට සැළසුම් කර තිබෙන බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
මෙම මුදල් වලින් මිලට ගත් රුපියල් 5000.00 ක වටිනාකමින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු මලු 400 බැගින් මල්වතු අස්ගිරි උභය මහා විහාර වෙත ලබාදීම කම්බෝජ සංඝරාජ හිමියන්ගේ නියෝජිත හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (14) සිදු කෙරුණි.
උභය මහා විහාර මගින් ඉදිරියේදී මහනුවර දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභි පවුල් වෙත මෙම ආහාර ද්‍රව්‍යය බෙදා දීමට නියමිතය.අලවතුගොඩ සමන් දේවාලයේ බස්නායක නිළමේ ජයම්පති හීන්කෙන්ද මහතා විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලැබීය.
ජීවන වියදම ඉහළ යාමත් ආදායම් මාර්ග අහිමි වීමත් නිසා දුක්විඳින ජනතාවට සහනයක් වීම සඳහා ථෙරවාදී බුදදහම ක්‍රියාත්මක රටක් ලෙස කාමිබෝජය අනුකම්පා පෙරදැරිව සංඝරාජ හිමියන්ගේ මග පෙන්වීම යටතේ මෙම සහනාධාර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන බව ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
ඡායාරූප-ඕමල්පේ සෝභිත හිමි ප්‍රමුඛ සංඝරත්නය හා කම්බෝජ හිමිවරු මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු අදාළ සහනාධාර වැඩසටහන සම්බන්ධ තොරතුරු අඩංගු ලියවිල්ලක් උන්වහන්සේට පිළිගැන්වූ අයුරු .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *