කල්පිටිය සාගරගම වෙඩි පිටියක් ? – ගම්මුන්ට උන් හිටි තැන් නැති වෙයිද ? ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න

 

‘සාගරගම’ පුත්තලම දිස්ත්‍රික්කයේ, කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි පුංචි ගම්මානයකි. මේ ගම්මානයට අක්කර 483ක භුමි භාගයක් ඇතුළත්ය. මෙහි පදිංචිව සිටින පවුල් ගණන72කි. මේ වනවිට මේ ගම්මානයේ ජීවත් වෙන ජනතාවට උන් හිටි තැන්අහිමි වීමේ තත්ත්වයක් උදා වෙමින් පවතී. ඊට මූලික හේතුව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මේඅක්කර 483ක භූමි භාගයටඅයිතිවාසිකම් කීමට ඉදිරිපත් වීමය. මේ ප්‍රදේශයේ රජයටඅයත් හා ජනතාව විසින් දිගු කාලීනව භුක්ති විඳින ලද අක්කර 1492ක භූමියක් ඇත. ඉන් රජය ගැසට් නිවේදන දෙකක් මඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වෙඩි පිටියක් සඳහා ලබා දී ඇති භූමි ප්‍රමාණය අක්කර 1009ක් බව ගුවන් හමුදාව කල්පිටිය පොලිසියට මේ වසරේ ජූලි මස පළමු වැනි දින සිදු කරන ලද පැමිණිල්ලකින් පැවසේ. ගුවන් හමුදාව කල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ල සමඟ තමන්ට උන් හිටි තැන් අහිමි වීමේ තත්ත්වයක් උදා වී ඇති බව ගම්මු පවසති.

” අපි බලෙන් ආවා කියලා කියන්නේ කොහොම ද? මම උපන්නේ මේ ගමේ. අපේ අම්මලා, තාත්තලා දැන් අවුරුදු තිස් තුනක් මෙහෙ ජීවත් වෙනවා. මම පාසල් ගියෙත් මේ ගමේ ඉඳලා. අපට මේ ගමේ ඡන්දේ තියෙනවා නම්, අපි මේ ගමේ නොවෙයි කියන්න කාටවත් පුළුවන් ද?”
ඒ කල්පිටිය සාගරගම ග්‍රාමයේ ජීවත් වන රසික මනෝජ්. රසික මනෝජ් ලෙස ඔහුගේ නම උප්පැන්නයේ සඳහන්ව තිබුණත්, ඔහු ගමේ කවුරුත් අමතන්නේ ‘සාගර’යන නමිනි. ඒ ඔහු උපත ලැබූ දිනයේ මේ ග්‍රාමයේ ජීවත් වූ බෙනඩික් ජෝශප් විසින් කළ ප්‍රකාශයක් හේතුවෙනි.
“උප්පැන්නේ මේ ළමයාගේ නම රසික වුණාට කමක් නැහැ. මම අද ඉඳලා මේ ළමයට නම දානවා සාගර කියලා. අද ඉඳලා මේ ගමේ නමත් සාගර ගම.” සාගරගේ කතාව අනුව ඔවුන් සාගරගමට පැමිණ ඇත්තේ 1988 වර්ෂයේ දී ය.
” අපි ඉගෙන ගෙන නැහැ. මට අකුරුත් බැහැ. අපට කියන්න කෙනෙක් නැහැ. පුළුවන් නම් මේ අසාධාරණය ගැන රටට කියන්න. එච්චරයි ඉල්ලන්නේ. නීතිය ආරක්ෂා කරන්න ඉන්න නිලධාරීන්, ආයතන, නීති කඩනවා නම් …….” සාගර කියන්න ගිය දෙයක් ගිල ගත්තේ ය. සාගරගම වැඩි දෙනකු වැඩි අධ්‍යාපනයක් ලබා නොතිබුණත්, ඔවුන්ට රටේ නීතිය ගැන මනා අවබෝධයක් තිබේ. ගැටලුව වී ඇත්තේ මනා අධ්‍යාපනයක් ලබා රටේ ජනතාව රැක බලා ගැනීම හා පාලනය කිරීම සඳහා පත් කර ඇති නිලධාරීන් නීතිය හරිහැටි නොදැන කටයුතු කිරීමය. ඔවුන්ගේ කතාව අවබෝධයෙන් යුතුව කියවන ඕනෑම අයෙකුට එය පැහැදිලි වෙනවා ඇත.

සාගරගම        (වීඩියෝව බලන්න  මෙතනින්  )  ‍https://youtu.be/edgsMla94c0

සාගරගේ කතාව සාගරයක් මෙන් විශාලය. සාගරගේ සීයා හා ආච්චි කල්පිටියට පැමිණ ඇත්තේ බේරුවල ප්‍රදේශයේ සිටය. ඒ, සාගරගේ සීයාට කල්පිටිය ධීවර වරායේ ලැබුණු රැකියාවක් හේතුවෙනි. සාගරගේ සීයා හා ආච්චි කල්පිටියට පැමිණෙද්දී සාගරගේ මවගේ වයස අවුරුද්දකි.


අද සාගරගේ මව යක්දෙහි කන්දේ සමරවීර ආරච්චිලාගේ ශ්‍රියානිගේ වයස අවුරුදු 49කි. ශ්‍රියානිට වයස අවුරුදු හතක් වන දිනයේ සාගරගේ සීයා වකුගඩු රෝගයකින් මරණයට පත් වූයේය. සාගරගේ ආච්චි ඩබ්ලිව්. පොඩි නෝනා (74 ) ශ්‍රියානි ජීවත් කරවූයේ කුලී වැඩ කිරීමෙනි.
එතැන් සිට තැනින් තැනට යමින් ජීවත් වෙන පොඩි නෝනා, ශ්‍රියානිට වයස අවුරුදු 16ක් වෙද්දී, සාගර ගමට පැමිණෙයි . ඒ වන විට ශ්‍රියානි විවාහ වී සිටි බැවින්, ඇය ද සාගරගම නිවසක් තනා ගනී. ඒ දිනවල සාගරගම එකම වනාන්තරයක් ලෙස තිබී ඇත. ඔවුනට ඒ දිනවල ජීවත් වීමට සිදුව ඇත්තේ වන සතුන් මැදය. ක්‍රම ක්‍රමයෙන් ගොවිතැනට හා ධීවර රැකියාවට හුරු වූ සාගරලාගේ වැඩිහිටියන් මේ ප්‍රදේශය සශ්‍රීක ප්‍රදේශයක් කිරීමට සමත්ව ඇත. සාගරලාගේ වැඩිහිටියනට අනුව පවුල් හැත්තෑවක් පමණ මුල් කාලයේ පදිංචිව සිට ඇත. එක් පවුලක් අක්කර දෙකකට වැඩි භූමි ප්‍රමාණයක් හෙළි පෙහෙළි කර ගෙන තිබේ. ඒ දිනවල මේ සඳහා කිසිවකුගේ විරෝධයක් නොතිබිණි. අවස්ථා කීපයක දී පැවැති රජයන් හා රාජ්‍ය නිලධාරීන් සාගරගම ජනතාවගේ පදිංචිය අනුමත කර, ඊට නීත්‍යානුකුලභාවයක් ද ලබා දී ඇත. ඊට කදිම නිදසුන වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය මේ ග්‍රාමයේ ජීවත් වන පවුල් කීපයක් සඳහා ලබා දී ඇති ඔප්පුයි.
මේ ග්‍රාමයේ ජීවත් වන ජගත් රූපසිංහ සතුව ඇති ඔප්පුවේ අංකය පුත්/කල්/ප්‍ර 62438 වේ. මේ ඔප්පුව නිකුත් කර ඇත්තේ 1998 වර්ෂයේ ජනවාරි මස 10 වැනි දිනයි.
ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් මේ ජනතාවට ලබා දී ඇති ඡන්ද අයිතිය හා යටිතල පහසුකම් සැලකිය හැකිය. මේ ගම්මානයේ මාර්ග, රජය මඟින් සංවර්ධනය කර ඇත. ගමට ලබා දී ඇති විදුලිය ඉන් සුවිශේෂය. ඔවුන් සතුව විදුලිය ලබා ගත් ලේඛන ද ඇත. අවසන් ජන්ද හිමි නාම ලේඛනයේ මේ ග්‍රාමයේ ජනතාවගේ නම් රැසක් තිබේ.

කණකොකා හැඬීම

සාගරගම ග්‍රාමය සශ්‍රීක වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ සාගරයයි. මේ ග්‍රාමය ආරම්භ වී ටික කාලයක් යත්ම, කල්පිටිය අර්ධද්වීපයේ නමක් දිනා ගත් ග්‍රාමයක් වීමට ද සාගරය හේතු විය. මුහුද වලාල සමයට මේ ග්‍රාමයේ ජනතාවට සාගරයෙන් ඇතෙක් බරට මත්ස්‍ය අස්වැන්න නෙළා ගත හැකිය. වාරකන් සමයට වගාවක් කර ගැනීමේ හැකියාව තිබිණි. ඒ නිසා මේ ග්‍රාමය මුළුමනින් ජනාවාස වීමට වැඩි කාලයක් ගත නොවූයේය. ගමේ දියුණුවට ආසන්න ග්‍රාමයක් වන කන්දකුලිය ග්‍රාමයේ පිහිටි විහාරස්ථානය ද ඉවහල් වී තිබේ. සාගරගේ මව ශ්‍රියානි සමරවීර පැවසූ ලෙස මේ ග්‍රාමයට කණකොකා හඬන්නේ 2005 වර්ෂයේ දීය.
” 1988 ඉඳලා අපි සතුටින් මේ ගමේ ජීවත් වුණා. අපට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. යුද්ධය පිට දාලා 2005 ගුවන් හමුදාව කන්දකුලියට අවා. කන්දකුලිය කියන්නේ අපේ ගමට යාබද ගම. ඔවුන් ඇවිල්ලා එහි කඳවුරු බැඳ ගත්තා. ඒ දවස්වල යුද්ධය නිසා ඕනෑම දෙයක් කරන්න ඒ අයට පහසු වුණා. ඒ අය, ඒ අයට ඕනෑ විදිහට හිතුමතේ වැඩ කළා. අපේ ඇතැම් පවුල් එලෙව්වා. මේ ඉඩම් ඒ අයට අයිතියි කිවුවා. ලිංගික හිංසන කළා. මේ නිසා අපේ ඇතැමෙක් නිවාස අතහැර යන්න ගියා. ඒත් අප ගියේ නැහැ. මේ සියලු හිරිහැර විඳ දරා ගෙන අපි හිටියා. මුලින්ම ඒ අය අල්ල ගත්තේ කවුරුත් පදිංචි වෙලා නැති ප්‍රදේශයක්. ඊට පස්සේ තමයි ක්‍රම ක්‍රමයෙන් ඒ අය අපේ ඉඩම් අල්ලන්න ගත්තේ. කොටින්ම කිවුවොත් යුද්දේ ඉවර වුණාට පස්සේ. මුලින් ඔවුන් මේ ස්ථානයේ පදිංචි වුණේ උඩින් ඇවිල්ලා බෝම්බ දාන්න පුහුණු වෙන්න කියලයි. ඒ විදියට මේ අය පුහුණු වීම කළා. යුද්දේ නිසා ඒ සියලු හිරිහැර විඳගෙන අපි හිටියා. ඒ අතරේ මේ කදවුරේ නිලධාරීන් මේ අවුරුද්දේ ජුනි මාසයේ දවසක අපේ ඉඩම්වල පොල් හිටවලා තිබුණා. මේ නිසා සියලු දෙනා භීතියට පත් වුණා. ඒත් සමඟම මුලින් පදිංචි වෙලා හිටපු උදවිය නැවත ඒ ස්ථානවලට ආවා.

ඡන්දය හා අයිතිය

යුද්ධය නිමාවත් සමඟ මේ ජනතාවගේ ප්‍රධාන බලාපොරොත්තුව වූයේ තමනට අහිමි වූ ඉඩම් නැවත ලබා ගැනීමයි. ඒ සඳහා ඔවුන් ගමේ ඟම නිලධාරීගේ සිට ජනාධිපති ලේකම්වරයා දක්වා මෙන්ම ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට රටේ ජනාධිපතිවරයා දක්වාම ලිඛිතව හා වාචිකව දැනුම්වත් කර ඇත.
” අපි ලොකු ලොකු දේ දන්නේ නැති වුණාට, ඡන්දේ තියනවා නම් ඒ බිමේ අයිතියත් තියනවා කියන එක අපට දැනෙන දේ තමයි. මම මේ ඉන්නේ අපේ අම්මා, තාත්තා හිටපු තැන.”
චාමර සඳරුවන් තමා දන්නා දේ පැවසුවේය. චාමර පවසන ලෙස ඔවුන් අලුතෙන් නිවාස ඉදි කළේ ගුවන් හමුදාව ඔවුන් සතු බිමේ පොල් පැළ සිටුවීම හේතුවෙනි.
“ගුවන් හමුදාව මෙහෙට ආවේ උඩින් බෝම්බ දාන්න පුරුදු වෙන්න. ඒ බිම වෙනම තියනවා. එහෙම තියෙද්දී තමයි මේ අය මේ අපේ බිමත් අල්ලන්න යන්නේ. මේ බලන්න මගේ නම ඡන්ද ලේඛනයේ තියෙනවා.”
චාමර ඡන්ද හිමි නාම ලේඛනයේ ඔහුගේ නම සටහන්ව ඇති අයුරු ද පෙන්නුවේය.
ගුවන් හමුදාවට ඉඩම් ප්රහමKයක් තියනවා. අපි ඒක පි<sගන්නවා. නමුත් අපිටත් ඉඩම් තියනවා.මේ අපේ ඉඩම් තමයි ගුවන් හමුදාව අල්ලන් තියෙන්නේ. ගුවන් හමුදාව කියනවා 1984 ගැසට් එකකින් මේ බිම ඒ අයට දීලා තියනවා කියලා. නමුත් ඔවුන්ම අවස්ථා කීපයකදී කියලා තියනවා.
“අපට තාම මේක ලැබුණේ නැහැ. අපට මේ දේ දෙන්න නියමිතයි. ඒ නිසයි අපි මේක ආරක්ෂා කරන්නේ’’කියලා. ගුවන් හමුදා කඳවුරේ ලොකු මහත්තයා එහෙම කියන වීඩියෝ එකක් මාධ්‍යවේදීන් වීඩියෝ කරලත් තියනවා.’’
චාමර ඳරුවන් කළ ප්‍රකාශය සත්‍යයකි.ඒ අවස්ථාවේ එම වීඩියෝව කළ මාධ්‍යවේදියා මමයි. එහි දී පාලවිය ගුවන් හමුදා කඳවුරේ උසස් නිලධාරියා යැයි කියා ගත් නිලධාරියා පවසා සිටියේ මේ භූමිය තමනට මෙතෙක් අයිතිව නොමැති අතර, ඉදිරියේ දී අයිති වීමට ඇති බවය. එම වීඩියෝව මා සතුව ඇත. මේ වන විට එය මාධ්‍ය කීපයක් මඟන් ප්‍රචාරය කරඇත. mojonews.lkyoutube අඩවියට පිවිස එය දැක බලා ගත හැකිය.

බොරුව

2005 වර්ෂයෙන් පසු සාගරගම ජනතාවට විඳින්න සිදු වූ හිංසන විවිධාකාරය. මේ වන විට ඔවුන් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. ඒ අතර ලිංගික හිංසන ඉදිරියෙන් ඇත. එම චෝදනා බරපතළය.” බිරිය ඉල්ලලා පුරුෂයාට ගැහුවා. නංගි ඉල්ලලා අයියට ගැහුවා. කුඩා දරුවන්ට ලිංගික හිංසන කළා. යුද්ධය නිසා මේ සියලු දේ යට ගියා. ”
සාගරගම ග්‍රාමයේ ජීවත් වන වැඩිහිටියකු වන එච් .පී . සිරිසේන පැවසුවේය.
“මේ හින්දා තමයි අපේ ගමේ ගොඩක් දෙනෙක්ට මේ ගමෙන් යන්න වුණේ. අපි මෙහෙන් ගිහින් ජීවත් වුණේ අනුන්ගේ වතුවල. යුද්ධය ඉවර වුණාම වැඩියෙන්ම සතුටු වුණේ අපි. මොකද අපට අපේ බිම ලැබෙන නිසා. ඒත් වුණේ වෙන දෙයක්. යුද්ධය අවස්ථාවේ විවිධ තාඩන පීඩන මැද හිටපු අයටත් මේ බිම දාලා යන්න වෙන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. රටේ නීතිය රකින්න බැඳිලා ඉන්න නිලධාරීන් හා ආයතන බොරු කරනවා. අපට තියෙන්නේ එක විශ්වාසයක් පමණයි. ඒ අධිකරණය. ඒත් අධිකරණට ගුවන් හමුදාව හා පොලිසිය බොරු වාර්තා දීලා. ” අධිකරණයට බොරු වාර්තා ලබා දී අධිකරණය නොමඟ යැවීමට කටයුතු කිරීම ඉතා භයානක තත්ත්වයකි. ගුවන් හමුදාව මේ ඉඩම පිළිබඳ කල්පිටිය පොලිසියට බොරු පැමිණිල්ලක් කළේ නම්, ඒ පිළිබඳ විමසිය යුතු පළමු පුද්ගලයා වන්නේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයායි. කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීම තුළ මේ ඉඩමේ අයිතිය ඇත්තේ කාට ද? යන්න නිශ්චය කර ගත හැකිව තිබිණි. එහෙත්, කල්පිටිය පොලිසිය කළේ, 2021.07.01 දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කන්දකුලිය අනු ඒකකයේ සැරයන් 013774 ගුණපාල නමැති සෙබළා ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත හා 628 /ඒ මුසල්පිටිය ග්‍රාම නිලධාරිනී මොහොමඩ් රහීම් ෆාතිමා සබ්රිනාගේ ප්‍රකාශයක් මත මේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමය. ගුවන් හමුදා භටයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ 1984 .12.18 හා 2005 .02.15 දිනවල නිකුත් වූ රජයේ අති විශේෂ ගැසට් පත්‍රවලට අනුව ගුවන් හමුදා කඳවුරකට හා වෙඩි පිටියකට මේ ඉඩම් පවරා ඇති බවත්, මේ ඉඩම වටේ කම්බි කණු ගසා ඇතත් කම්බි සවි කර නොමැති බවත්, එම ඉඩමට ගම්වාසින් පැමිණ අනවසරයෙන් ඇතුළු වී, පොල් අතුවලින් හා තහඩුවලින් තාවකාලික නිවාස 10ක් ඉදි කර ඇති බවත්ය. ග්‍රාම නිලධාරිනියගේ ප්‍රකාශයේ ඇත්තේ තම වසමට ගුවන් හමුදා කඳවුර පිහිටා තිබෙන ඉඩම ද, ඊට අමතරව ගුවන් හමුදා කඳවුර ඇතුළු එම ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් අක්කර 14ක් අයත් බවත්, එම රජයේ ඉඩමේ පිරිසක් පදිංචිව සිටින අතර, ඊට අමතරව කිසිදු අවසරයක් නොමැතිව 2001 .07 .01 වැනි දින තවත් නිවාස 10 ක් සාදා ඇති බවත්ය.

යුක්තිය

සාගරගම සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ මේ සියලු ජාතීන් හා කතෝලික, බෞද්ධ, මුස්ලිම්, හින්දු සියලු බැතිමතුන් ජීවත් වෙයි. බෞද්ධ ජනතාව ස්වල්පයක් වුවත්, මේ ගමේ ජනතාවට වැඩි වශයෙන් නායකත්වය ලැබෙන්නේ කන්දකුලිය ශ්‍රී සමුද්‍රාසන්න විහාරස්ථානයෙනි. මේ විහාරස්ථානයේ අධිපති පුජ්‍ය බැදිවැව දියසේන හිමියන් මේ පිළිබඳ කළ විමසීමේදී පැවසුවේ මෙවැනි අදඑසකි.
” දැනට ජනතාව පදිංචි වෙලා ඉන්න ප්‍රදේශය කාටවත් අයිති එකක් නොවෙයි. මේ ඉඩමට අයිතිකාරයෙක් නැහැ කියන්නේ රජයට අයිතියි. රජය කියන්නේ ජනතාව. මේක ආයතන දෙකක් නොවෙයි. ඒ කියන්නේ මේක අයිති මේකේ හිටපු ජනතාවට. ගුවන් හමුදාවට ගැසට් කළ ප්‍රදේශයක් තියනවා. ගුවන් හමුදාව කරන්න ඕනෑ ඒ බිම රැක ගන්න එක. නැතුව ජනතාව පදිංචි වෙලා ඉන්න බිමේ පොල් හිටවන එක නොවෙයි. ඒ වගේම රෑට රෑට ඇවිල්ලා ජනතාවගේ ගෙවල් ගින්දර තියන එක නොවෙයි. අනෙක් ප්‍රධාන කාරණය දැන් යුද්ධය ඉවරයි. යුද්ධය කාලේ උතුරේ අල්ලගත්තු ඉඩම් පවා දැන් නිදහස් කරනවා. උතුරු – නැඟෙනහිර වෙඩි හඬ අලුත උපදින දරුවනට ඇහෙන්නේ නැහැ. ඒත් ගුවන් හමුදාව මේ ප්‍රදේශවලින් ජනතාව එලවන්න දැන් දැන් මහා පරිමාණ බෝම්බ දාන. මම වගකීමෙන් කියන්නේ මෙහෙ ජීවත් වෙන ඕනෑම කෙනෙක්ගෙන් අහන්න. කාරුණිකව ඉල්ලනවා පුත්තලමේ පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගෙන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ කතා කරන්න. පුත්තලමට ලබා දීලා තියන විනාශ ඇති. මේවා ලංකාවේ වෙනත් ප්‍රදේශවලටත් ගෙනියන.”
සාගරගම ජීවත් වන ෆාතිමා නජිමා දරු තිදෙනෙකුගේ මවකි. ඇය සිටින නිවෙසට විදුලිය ද ලබා දී තිබේ. ඇය විමසන්නේ ගුවන් හමුදාව තමන්ගේ ඉඩම් රැක ගැනීම සඳහා වසර 36ක් කටයුතු නොකළේ මන් ද? යන්නයි.
” ගුවන් හමුදාවට මේ ඉඩම් දුන්නේ 84 අවුරුද්දේ කියලා දැන් කියනවා. එහෙනම් ඇයි ඒ අය වැටක්වත් ගහගන්න කටයුතු නොකළේ? එදා යුද්ධය කාලේ මේ ප්‍රදේශවල ජනතාව ඉන්නව ගුවන් හමුදාව කැමැති වුණා. මේ ගමේ මිනිස්සුත් බෝම්බ මැද්දේ හිටියා. උතුරට වඩා බෝම්බ මේ ප්‍රදේශයට වැටුණා. ඒ වගේ අපහසුකම් මැද්දේ ජීවත් වුණු අප අසාධාරණ විදියට පාරට ඇදලා දාන්න යන එක කොච්චර යුක්ති සහගත ද? කියන එක හිතලා බලන්න.”

රටේ නීතිය

රටේ නීතියට සත්‍ය ප්‍රකාශ කිරීමට රටේ ජනතාව මෙන්ම රටේ රාජ්‍ය නිලධාරීන් බැඳී සිටියි. නීතිය නොමඟ යැවීම සඳහා කටයුතු කර ඇත් නම්, එය බලවත් වරදක් මෙන්ම නීතිය හෑල්ලුවට ලක් කිරීමකි. කල්පිටිය පොලිසිය මේ සිදුවීමේදී කටයුතු කර ඇති ආකාරය පිළිබඳ ගැටලු පවතී. නීතිඥ නිහාල් සුමනධීර පවසන ලෙසට අධිකරණය පොලිසියට කළ නියෝගයක් වෙනත් පාර්ශ්වයකට, විශේෂයෙන් රජයේ හමුදාවකට පැවරීම නීත්‍යානුකූල නොවන තත්ත්වයකි.
“මම කියන්නේ රජයේ හමුදාවකට ජනතාවගේ ගෙවල් කඩන්න නියෝගයක් ලබා දෙන්න කාටවත් බැහැ. සාමාන්‍යයෙන් අධිකරණය නියෝග කරන්නේ පිස්කල් හරහා මෙවැනි දෙයක් කරන්න. අවශ්‍ය නම් පොලිසිය ඒ සඳහා සහභාගී කරවා ගත හැකියි. මේ වගේ අවස්ථාවක ගුවන් හමුදාව වෙඩි තැබීමක් කළේ නම්, එහි වගකීම ගන්නේ කවුද?
පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයෙන් නඩු අංක 17 428 /21 යටතේ කල්පිටිය පොලිසියට අධිකරණය නියෝග කරන්නේ පොලිසියට මේ නිවාස ඉවත් කරන ලෙසයි. එහෙත් පොලිසිය කළේ ගුවන් හමුදාවේ නිලධාරීන් ගෙනල්ලා මේ නිවාස කඩවන එක. ගුවන් හමුදා භටයන් මේ කටයුත්ත කරන්න ආවේ තුවක්කු රැගෙන, එලෙස මේ නිවාස කඩා බිද දැමීම නීතියට කෙතරම් අනුකූල වන්නේ ද? යන්න පිළිබඳ දෙවරක් නොව; කීප වරක් සිතා බැලිය යුතුව තිබෙනවා . “නීතිඥ නිහාල් සුමනධීර වැඩිදුරටත් පැවසුවේය.
කල්පිටිය පොලිසියේ ස්ථානාධිපති එම්.අයි.බී.එස්.නිශාන්ත කුමාර පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ තොරතුරු අනුව මනාව පැහැදිලි වෙන්නේ, මේ සිදුවීමට අදාළ ඉඩම රජය සතු ඉඩමක් බවයි. එම ඉඩමේ ජනතාව ස්ථිරව පදිංචිව සිටින බවටද එහි සඳහන් වේ. ඒ අනුව කල්පිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා දැනුම්වත් කළ යුතුව තිබිණි. එහෙත් එවැන්නක් සිදු නොවූ බවත්, තමන් මේ නඩුවේ පාර්ශ්වකාරයෙක් කර නොමැති බවත් ප්‍රගීත් දනන්සුරිය කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් කළ විමසීමේදී පැවසුවේය.
“මේ ඉඩමට හිමිකම් කියන්නා හොයා ගන්න බැහැ. ඒත් කාලයක ඉඳලා මේ ස්ථානයේ පවුල් 32ක් පමණ ස්ථිරව පදිංචි වෙලා ඉන්නවා. අලුතෙනුත් යම් පිරිසක් මේ ස්ථානයේ පදිංචි වෙලා ඉන්නවා. ඒ පිරිස නීත්‍යානුකූලව ඉවත් කරන්න මම අධිකරණයේ නඩුවක් ගොනු කරන්න ඉන්නේ.”

වැරැදුණේ කොතැන ද?

ගුවන් හමුදාව හා කල්පිටිය පොලිසිය පැමිණ නිවාස කඩා බිඳ දමද්දී, මේ ජනතාව මාධ්‍යයේ පිහිට ඉල්ලුවේය. මාධ්‍ය මඟින් ඔවුනට ලබා දුන් උපදෙස වූයේ, අධිකරණ නියෝගයක් ඇත් නම් එයට ගරු කර, නිවාසවලින් ඉවත් වන ලෙසයි. එහි දී මේ ග්‍රාමයේ මුල් පදිංචිකරුවකු වූ ලසන්ත පැවසුවේ මෙවැනි අදහසකි.
” අපි උසාවි නියෝගය, පොලිසියෙන් ඉල්ලුවා. ගුවන් හමුදාවෙන් ඉල්ලුවා. ඒත් ඒ අය එහෙම එකක් පෙන්වන්නේ නැහැ. උසාවියෙන් පිස්කල් ආවද කියලා ඇහුවා. එහෙම කෙනෙකුත් නැහැ. මේ කරන්නේ බලහත්කාරකමක්. උසාවි නියෝගයක් තියෙනවා නම් පෙන්වන්න ඕනෑනේ.” එහෙනම් ඉතින් කරන්න තියෙන්නේ එකම දෙයයි. හැමෝම අතේ තියෙන ෆෝන් එක අරගෙන වීඩියෝ කරන්න. ඒ අනුව සාගරගම ලොකු කුඩා සැවොම තම අත ඇති ස්මාර්ට් ජංගම දුරකතනයෙන් ගුවන් හමුදාවේ මේ ක්‍රියාව වීඩියෝ ගත කෙළ්ය. අවසානයේ ගුවන් හමුදාව හා කල්පිටිය පොලිසියේ නිලධාරින් ද ජනතාව වීඩියෝ ගත කෙරිණි. මේ සිදුවීම වී පැය කීපයක් ඇතුළත මා කල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් මේ උසාවි නියෝගයේ ඇත්තේ කුමක්දැයි විමසා සිටියත්, එය පැවසීමට පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රතික්ෂේප කෙළ්ය.
ඒ අවස්ථාවේම කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් දුරකතනයෙන් කළ විමසීමේදී ප්‍රාදේශීය ලේකම්වරයා පැවසුවේ, තමන් එවැනි අධිකරණ කටයුත්තක් පිළිබඳ දැනුම්වත් වී නොමැති අතර, මේ ඉඩම රජයට අයත් ඉඩමක් බවයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා අනුව මේ ඉඩම මේ දක්වා ගුවන් හමුදාවට භාර දී නොමැත. ඒ අනුව කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ 013774 ගුණපාල ධර්ම කුමාර නමැති සැරයන්වරයා පුත්තලම අධිකරණයට කියා ඇත්තේ බොරුවකි. ඔහු පොලිසියටඉදිරිපත් කර ඇත්තේ ද ඔවුනට නීත්‍යානුකූලව රජයෙන් ලබා දී ඇති අක්කර 1009ක භූමියේ ගැසට් පත්‍රයයි. මේ නඩුවට අදාළ මුසල්පිටිය ග්‍රාම නිලධාරිනියගේ ප්‍රකාශය අනුව ද කියවෙන්නේ, මේ ප්‍රදේශයේ රජයට අයත් අක්කර 1492 ක භූමියක් තිබෙන බවයි. එහි ගුවන් හමුදාව මෙන්ම ජනතාව ද ස්ථිරව පදිංචිව සිටින බව ඇය පැහැදිලිව කියා තිබේ. ඒ අනුව පොලිසිය මූලික විමර්ශනයක් නිසි අයුරින් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කළා ද? යන්න ගැටලුවකි. මෙහි දී පොලිසිය අනිවාර්යයෙන් කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතුව තිබිණි. මෙහි දී ජනතාව පවසන්නේ ජූලි 05 වැනි දින උසාවියට පැමිණ කරුණු දක්වන ලෙස තමනට කල්පිටිය පොලිසියෙන් දැනුම් නොදුන් බවය. එසේ වුයේ නම් තමන් අධිකරණයට තමන්ගේ අයිතිය පිළිබඳ කරුණු දක්වන බව ද ඔවුහු පවසති. පසුගිය සතියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සූරියගෙන් මා දුරකතනයෙන් කළ විමසීමේදී කියා සිටියේ, රජයට අයත් ඉඩමේ පදිංචිකරුවන් ගෙන් කොටසක් සම්බන්ධයෙන් නඩු පැවරීමට කටයුතු කරන බවයි. ඒ අනුව ඉතාම පැහැදිලි කරුණ අක්කර 483ක් වන සාගරගම ග්‍රාමය පිහිටි මේ ඉඩම ගුවන් හමුදාවට, 2021 ජුලි 06 වැනි දින දක්වා ගැසට් පත්‍රයකින් පවරා දී නොමැති බවය.

අවධානය

මේ සිදුවීම පිළිබඳ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහගෙන් කළ විමසීමේ දී කියා සිටියේ, මේ ගැන සොයා බලා ප්‍රකාශයක් කරන බවයි.
“මේ පිළිබඳ අධිකරණයේ නඩුවක් තියෙනවා. සාමාන්‍යයෙන් අපට ඉඩම් දෙන්නේ රජයෙන්. ඒ කියන්නේ කැබිනට් අනුමැතියකින්.
සාමාන්‍යයෙන් අප ඉඩමක් පවරා ගන්නවා නම්, ඒ ප්‍රදේශයේ ජනතාව පදිංචි වෙලා ඉන්නවා නම්, වන්දි ගෙවලා තමයි ගන්නේ. ඒක තීරණය කරන්නේ ප්‍රාදේශීය ලේකම්.” ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසුවේය.
රටේ නීතිය අනුව හමුදාවකට ආයුධ සන්නද්ධව ගොස් රටේ ජනතාවගේ නිවාස කඩා බිඳ දැමීමේ අයිතියක් නොමැත. රටේ නීතිය අනුව අධිකරණය, පොලිසියට කළ නියෝගය පොලිසිය ගුවන් හමුදාවට භාර දුන්නේ කාගේ නියෝගයකින් ද? එසේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලවිය ඒකකයට අනුයුක්තව තිබෙන කන්දකුලිය අනු ඒකකයේ ගුවන් භටයනට මේ නිවාස කඩා බිඳ දැමීම සඳහා නියෝග ලබා දුන්නේ කවු ද? පොලිසිය හා ගුවන් හමුදාව මේ ජනතාවට උසාවි නියෝගය නොපෙන්වූයේ ඇයි ? මේ ජනතාව ප්‍රකාශ කරන ලෙස මේ වන විට ගුවන් හමුදා නිලධාරීන් ගෙන් මේ ජනතාවට නැවත නොයෙකුත් තාඩන පීඩන එල්ල වෙමින් පවතී. මේ තත්ත්වය රටේ සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වීමේ මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් නොවේ ද?
මේ සියල්ල සැලකිල්ලට ගත් කල පෙනී යන්නේ, කල්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා හා ගුවන් හමුදාව පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවයි . ඔහු අධිකරණයට පවසා ඇත්තේ මේ නිවාසවල කිසිවකු පදිංචි නොමැති බවයි. එහෙත් ගුවන් හමුදාව මේ නිවාස කඩා බිඳ දමද්දී, මේ නිවාසවල ජනතාව පදිංචිව සිටින අයුරු පැහැදිලිව ඔප්පු කළ හැකිය. ඊට අදාළ දර්ශන මේ වන විටත් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්ව තිබේ. ඒ අනුව මේ පිළිබඳ විශේෂ විමර්ශනයක් කර, සිදු වූයේ කුමක්දැයි නිවැරැදිව සොයා බැලීම අදාළ සියලු වගකිව යුත්තන්ගේ වගකීමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *