ගුරුගල් ඔය ජලාශයේ රොන් මඩ ඉවත් කිරීමට පියවර

වැඩි ජල ධාරිතාවයක් රඳවා ගත හැකි පරිදි හේවාහැට ගුරුගල් ඔය ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

මුරපොල ඇල වාරි ව්‍යාපාරයට ජලය නිකුත් කරන ප්‍රධාන මූලාශයක් වන ගුරුගල් ඔය ව්‍යාපාරය මගින් නවනැලිය, කොටගේපිටිය, කොළඹිස්ස, නීලවල,කහඹිලියාව, පොත්ගොඩ, උඩුදෙණිය, මීරුප්ප, දමුණුගොල්ල සහ බෝලෑප යන ග්‍රාම නිලධාරී වසම්වල කුඹුරු අක්කර 1200ක් ආවරණය වන පරිදි ජල සැපයුම සිදු කෙරේ.

නමුත් එම ජලාශයේ රඳවා ගත හැකි ජල ධාරිතාව සීමා වී ඇති බැවින් රොන්මඩ ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කොට ඇති අතර ඉදිරි මහ කන්නයට පෙර ව්‍යාපෘතිය අවසන් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සැලසුම් කොට තිබේ.

රොන් මඩ ඉවත් කිරීමෙන් පසු මෙම මස 26 වන දින වන විට ජලාශයෙන් ජලය නිකුත් කිරීමට හැකි බව මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු අයේෂා වීරසිංහ මහත්මිය පැවසුවාය.

නඩත්තු කටයුතු හේතුවෙන් මුරපොල ඇල ව්‍යාපාරයේ ජල සම්පාදනයට ගැටලුවක් මතු නොවන බවත් කන්දේතැන්න සහ වනහපුව වැව් මගින් ද මුරපොල වාරි ව්‍යාපාරය සඳහා ජලය නිකුත් කරන බව ද ඇය සඳහන් කළාය.

 – නදීක දයා බණ්ඩාර – මහනුවර

END/MMP/19102025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *