සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමට තිහාරියේ “තන්වීර්” වෙතින් පියවරක්!
“ඕනෑම දෙයක නිසි අවබෝධයක් නොමැතිකම තුළ තමයි අනවශ්‍ය ගැටුම්, ප්‍රශ්න, අවිශ්වාසය, අර්බුද මතුවෙන්නේ. ඉනුත් නොනැවතී අපරාධ, පාඩු සහ අහිමිවීම් අපට අත්දකින්න සිදුවෙනවා. ඉස්ලාම් ධර්මය පිළිබඳවත් අවබෝධය ලබාගැනීම සඳහා සිංහල භාෂාවෙන් ලියැවුණු පත පොත නැහැ. ඉස්ලාම් ධර්මය පිළිබඳව නිවරැදි අවබෝධය ලබාදීම සඳාහා තමයි ඉතා ගැඹුරින් කරුණු කාරණා සහිතව, පුලුල්ව මෙවැනි උත්සාහයක් ගත්තේ” යනුවෙන් ෂෙයික් රස්මි අබ්දුර්රහ්මාන් මෝජෝ පුවත් සේවයට ප්‍රකාශ කළේය.
“ධර්මාවබෝධයෙන් සංහිඳියාව” යන තේමාව ඔස්සේ ගම්පහා දිස්ත්‍රික්කයේ තිහාරිය ප්‍රදේශයේ පිහිටා ඇති “තන්වීර්” ආයතනය විසින් ඔක්තෝබර් 08 සහ 09 දෙදින මෙම ප්‍රදර්ශනය පවත්වන්නට යෙදුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එෛතිහාසික අත්තනගල්ල ශ්‍රී අරහන්ත රාජ මහා විහාරාධිපති , සිනාධී සිවි කෝරළයේ ප්‍රධාන සංඝනායක අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ සහභාගී වූහ.
නබිතුමාණන් හඳුනාගන්නේ කෙසේද , නබිතුමාණන් ජීවත්වූ පරිසරය කෙසේ තිබුණිද (අරාබි ලෝකය) , නබිතුමාණන්ගේ පරමාදර්ශී භූමිකාව (ජීවිත පැවැත්ම) , නබීතුමාණන් තුළ පැවතී මානව ගුණාංග , නබිතුමාණන් මුස්ලිම් නොවන වෙනත් ලබ්ධිකයින් සමග ජීවත්වූ ආකාරය යන ප්‍රධාන කාරණා 05 පිළිබඳව සවිස්තරාත්මක පැහැදිළි කිරීම් ඔස්සේ මෙම ප්‍රදර්ශනය පැවැත්වූ බව තිහාරියේ තන්වීර් අධ්‍යාපන ආයාතනයේ කථිකාචාර්යවරයෙකු ද වන ෂෙයික් රස්මි අබ්දූර්රහමන් මෝජෝ පුවත් සේවයට පැහැදිළි කළේය.
මෙම කාරණා 05 පිළිබදව ඒ ඒ මාතෘකා යටතේ විවිධ කුටි තුළ සංගීතය , දේශන, විඩියෝ දර්ශන යනාදිය උපයෝගි කරගනිමින් මනාව පැහැදිළි කළ බව ප්‍රකාශ කළ ෂෙයික් රස්මි, අවශ්‍ය යැයි දැන්වූ පුද්ගලයින් හට පමණක් නබිතුමාණන් පිළිබඳව සිය ආයතනය විසින් පරිවර්ථනය කර සකස්කරන ලද ග්රන්ථයක් ලබාදුන්නේ යැයි කීහ.

පාසැල් තුළ ඉස්ලාම් ධර්මය ඉගැන්වීමෙහිලා ුරු හිගයක් ද පවතින බව සඳහන් කළ කථාකාචාර්ය ෂේයික් රස්මි, සිය තන්වීර් ආයතනය හරහා මුස්ලිම් පැසැල් දරුවන් වෙත ඉස්ලාම් ධර්මය විෂය පිළිබඳව ඉගැන්වීම ද සිදුකරන බව පැවසීය.
මීට පෙර වසරවලදී, හජ්ජි උත්සවය සහ නෝම්බි පිළිබඳව ද මෙවැනි ම ආකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකළ බව ද ඔහු සිහිපත් කළේය.
“ගම්පහා දිස්ත්‍රික්කය තුළ පාසැල් , දහම් පැසැල්, රජයේ ආයතන , පොලීසිය යනාදී ආයතනවලට අපි ආරාධනා කළා. ආරාධනාවට අනුව, පාසැල් ළමුන් සහ වැඩිහිටි පුද්ගලයින් 3000 කට අධික සංඛ්‍යාවක් මෙම දෙදින තුළ ප්‍රදර්ශනය නරඹා ධර්ම අවබෝධය ලබාගන්නට පැමිණියා යන්න අපේ අදහසයි.”
තවදුරටත් අදහස් දැක්වූ ෂේක් රස්මි, “මුස්ලිම් පල්ලිය ඇතුලේ සිදුවන්නේ කුමක් ද යන්න නිවරැදිව දන්නේ නැති නිසා තමයි , නබිනායක තුමා ගැන නිවරැදිව නොදන්න නිසා තමයි , මුස්ලිම්වරුන්ගේ ඇදහීම ගැන නිවරැදිව දන්නේ නැති නිසා තමයි විවිධ ආකාරයේ වැරදි ආකල්ප , විවේචන පසුගිය කාලයේදී ලංකාවේ මුස්ලිම්වරුන් වෙත එල්ල වූණේ. ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ප්‍රජාව මුහුණ දුන් ඒ තිත්ත අත්දැකීම් මූලික කරගෙන, සහ අනාගත පරපුරට නිවරැදි ධර්මාවබෝධයක් ලබාදීමේ අරමුණ ඇතිව තමයි අපි විවිධ ආගමීකයින් , ජාතිකයින් අතර තේරුම්ගැනීම සහ සංහිඳියාව ගොඩනැංවීමේහි ලා මෙවැනි වැඩසටහන් පවත්වාගෙන යන්නේ.” යනුවෙන් පැහැදිළි කළේය.
ප්‍රදර්ශණය නැරඹීමට පැමිණි සිටී, අන්තරායක ඖෂධ පාලක මණ්ඩලයේ නව දිගන්ත ප්‍රථිකාර හා පුනරුත්ථාපන මධ්යශ්ථානයේ සහකාර උපදේශකවරියක වන දිල්ෂානි ප්‍රමෝධ්‍යා ප්‍රදර්ශනය පිළිබඳව අදහස් දක්වමීන් කියා සිටියේ නබිනායකතුමා පිළිබඳව නොදත් බොහෝ කාරණා දැනගන්නට ලැබුණු බවත්, සංහිඳියාව වෙනුවෙන් එතුමාගේ ජීවිතයෙන් වැදගත් දේ දැනගන්නට ලැබුණු බවත්ය.


“නබිනායකතුමන් එදා සමාජයට සිදුකළ මෙහෙවර පිළිබඳව සහ ආගමීක සංහිඳියාව සම්බන්ධයෙන් ගත් පියවරයන් පිළිබඳවත් අපිට දැක බලාගන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම අපේ පාසල්වල දරු දැරියන්ටත් ඉස්ලාම් ධර්මය ගැන, මුස්ලිම් ප්‍රජාව ගැන ඉතාම හොඳ දැනුමක් අවබෝධයක් ලබාගන්න මේ ප්‍රදර්ශනය ඉතා හොඳ අවස්ථාවක් වුණා. අපි පාසලක් වශයෙන් මෙය සංවිධානය කළ සියලුම දෙනාට අපගේ කෘතඥතාව පළකරනවා” යැයි නිට්ටඹුව බෞද්ධ විද්‍යාලයේ විදුහල්පති පැවසීය.
“මම බෞද්ධයෙක්. ඒ නිසා, මේ වැඩසටහන හරහා, මුස්ලිම් ආගම ගැන මම කලින් නොදැන සිටි බොහෝ දේ තේරුම් ගැනීමට මට හැකි වුණා. මුහම්මද් නබිතුමාගේ දර්ශනයේ බුද්ධාගමට බොහෝ සමානකම් තිබුණා. ආදරය, කරුණාව සහ නායකත්ව ගුණාංග වැනි මිනිසුන් වගා කළ යුතු ගුණාංග පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට මට හැකි වුණා,” යැයි සියනෑ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ජයනි මල්ෂිකා පැවසුවාය.
ප්‍රදර්ශණයේ දෙවන දිනයේ දී ඇතැම් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් , පරිපාලන ක්ෂේත්රයේ නිළධාරීන් ද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි බවත් ඔවුන් විසින් ද තන්වීර් ආයාතනයේ මෙම උත්සාහය මහත් සේ අගයකළ බවත් සංවිධායකයෝ පැවසූහ.
– මෙලනි මානෙල් පෙරේරා
Pictures – Tanweer Institute
END/MMP/15102025
