පොල් වගාව ගෘහස්ථ මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට පියවර

දෛනික පොල් පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් පොල් වගාව ගෘහස්ථ මට්ටමින් ප්‍රවර්ධනය කිරීමට යෝජිත ඒකාබද්ධ වැඩසටහනකට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි.

මෙම අවබෝධතා ගිවිසුම  ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය අතර ඊයේ (08) වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී.

මෙම වැඩසටහන හරහා ජනතාව දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් තම ගෙවත්තෙන්ම ලබා ගැනීමට උත්සාහ දක්වන ලෙස පියවර ගෙන ඇති අතර, එහි අරමුණ සාර්ථක කර ගැනීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් පොල් පැළ ලක්ෂ 05ක් නොමිලේ බෙදාහැරීම සිදුවේ.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් දිළිදුබව අවම කිරීමේ අරමුණින්ද, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් පොල් වගාව රටපුරා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, ග්‍රාමීය සංවර්ධන හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ගරු උපාලි පන්නිලගේ මහතා, නියෝජ්‍ය අමාත්‍ය ගරු වසන්ත පියතිස්ස මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා ඇතුළු නිළධාරින් පිරිසක් සහභාගි විය.

END/GONP/MMP/09102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *