සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපතිවරයා අතර විශේෂ හමුවක්

නවදිල්ලියේ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් (Jan Thesleff) මහතා පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණගැසී සාකච්ඡාවක නිරත විය.

ස්වීඩනය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම මෙරට ආර්ථිකයේ දියුණුව සඳහා ඉතිහාසය පුරා කර ඇති මැදිහත්වීමි හා ව්‍යාපාරික අංශයේ කර තිබෙන ආයෝජන පිළිබඳව  මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යරයා සිහිපත් කළ අතර, ශ්‍රී ලංකා රජය ගත වූ වසරක කාලය තුළ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද ජෑන් තෙස්ලෙෆ් මහතා දැනුවත් කිරීමට මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන ලදි.

එමෙන් ම මෙම හමුවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව සහ ජනමාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව ද සාකච්ඡා සිදු කරන ලද අතර, ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව, ශ්‍රී ලංකාව කලාපය තුළ ඉහළ සෞඛ්‍ය දර්ශක පවත්වාගෙන යාම, ළමා පෝෂණය සහ පෝෂණ ඌණතා, පාසල් සිසුන් අතර පෝෂණ තත්ත්වය සහ අභියෝග, වයස්ගත ජනගහණ අභියෝග, මෙරට ඖෂධ නිෂ්පාදන වැඩපිළිවෙල පිළිබඳව මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ස්වීඩන විශ්වවිද්‍යාලවලට බහුලව යොමු වන බවත් එය ඉදිරියේ දී විශාල වශයෙන් වර්ධනය කිරීමට ස්වීඩන රජය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙහිදී තානාපතිවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා  දැනුවත් කළ අතර, මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම බටහිර සහ දේශීය ආයුර්වේද  ප්‍රතිකාර සේවාව, ව්‍යාපාරික අංශයේ ආයෝජන ඉදිරියටත් සිදු කිරීම ආදී කරුණු රැසක් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා සිදු කරන ලදි.

ශ්‍රී ලංකා රජයේ ස්ථීරසාර හා අධිෂ්ඨානශීලී ඉදිරි පියවරයන් පිළිබඳව ස්වීඩනය විමසිල්ලෙන් බලා සිටින බව ද තව තවත් ආයෝජන ශ්‍රී ලංකාවට රැගෙන ඒමට, අදාළ ආයතන සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද මෙම හමුවේ දී තානාපතිවරයා පැවසීය.

මෙම හමුවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපතිවරයා සමඟ ස්වීඩන වෙළඳ හා ආයෝජන කවුන්සිලයේ නියෝජිත පිරිසක් ද ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු ද එක්ව සිටියහ.

END/GONP/MMP/08102025

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed