මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කෙරේ

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ප්‍රතිපාදන රුපියල් මිලියන 94 ක වියදමින් සකසන ලද නානාට්ටම් ප්‍රාදේශීය කොට්ඨාසයට අයත් නරවිල කුලම් ප්‍රදේශයේ ඉදිකර ඇති මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අයිතියට පත් කිරීම පසුගියදා (ඔක්.03) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, මෙම ප්‍රදේශයේ දරුවන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට ජනවාරි මස තමන් මන්නාරම දිස්ත්‍රික්කයට පැමිණි බවත්, එහිදී වූ පොරොන්දුවට අනුව වසරක් ඇතුලත මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකර ක්‍රීඩක ක්‍රීඩිකාවන් අයිතියට පත් කිරීමට කටයුතු කළ බවයි.
උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර්ධනයට පෙර පැවැති ආණ්ඩුවල අවධානය අඩුවෙන් ලැබී ඇති බවත්, වත්මන් රජය මෙම ප්‍රදේශ සංවර්ධනය සඳහා විශේෂ අවධානයක් යොමු කරන බවත් පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, දැනටමත් ක්‍රීඩා සංකීර්ණයේ ඉතිරි 400m ධාවන පථය සහ අනෙකුත් වැඩ කටයුතු වසරක් ඇතුලත අවසන් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
උතුර, දකුණ, නැගෙනහිර ආදී කිසිදු භේදයකින් තොරව මෙරට සියලුම දිස්ත්‍රික්කයන්හි සිටින දක්ෂම දරුවන් ක්‍රීඩාවට යොමු කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අරමුණ සහ වගකීම බව අමාත්‍යවරයා පැවසුවේ ය. අන්තර්ජාතික ජයග්‍රහණ ලබා ගැනීමට ක්‍රීඩකයන් දිරිමත් කිරීම සඳහා මේවනවිට ක්‍රියාතමක කර තිබෙන mission olympic වැඩසටහන පිළිබඳවත් වැඩිදුරටත් මෙහිදී අදහස් දැක්විය.

END/GONP/MMP/06102025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *