වර්ෂ 2027වන විට ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් ස්ථාපිත කිරීමට සැලසුම් – නදීක දයා බණ්ඩාර

ඉදිරි වර්ෂ දෙක තුළදී ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දහසක් දිවයින පුරා ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පූර්ව ප්‍රතිකාර හදුනා ගැනීම වෙනුවෙන් දිවයින පුරා ඉදිකරන එම මධ්‍යස්ථාන ඉදිිකිරිම සඳහා මුදල් අමාත්‍යංශය සහ මුදල් කොමිෂමේ අනුමැතිය හිමිවී ඇතැයි ද  ඒ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ මහනුවර පොල්ගොල්ල වත්ත ප්‍රදේශයේ ඉදිකරන ලද අරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහජන අයිතියට පත් කිරීම නිමිත්තෙන් ඊයේ (02) පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිනි.

ප්‍රතිකාර කිරීමට ප්‍රථමයෙන් රෝග හදුනා ගැනීම නිමිත්තෙන් මෙම මධ්‍යස්ථාන ඉදිවන අතර මෙම ඒකකය මගින් ගබඩාගම සහ ගුන්නෑපාය යන ප්‍රදේශවල පවුල් 6000ක පිරිසකට රෝග හදුනාගැනීමේ පහසුකම් සලසා තිබේ. එම කොට්ඨාශයේ පදිංචි සියලු පවුල් සඳහා මෙම ඒකකයෙන් සිය රෝග විනිශ්චයන් සිදු කර ගත හැකි අතර පවතින රෝග සඳහා ඉදිරි ප්‍රතිකාර කටයුතු  හා නිරෝගී බව සුරක්ෂිත කර ගැනීම සඳහා උපදෙස් ලබාදීම මෙම ඒකකය මගින් සිදුවේ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, දිවයින පුරා ස්ථාපිත කරන  නව සුවතා මධ්‍යස්ථාන දහසක්  සහ දැනට පවතින ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දහසක් වශයෙන් ඒකක දෙදහසක් මගින් මෙරට සියලු ජනතාවගේ රෝග විනිශ්චය කිරීමේ කටයුතු ආවරණය කර ගත හැකි යැයි පැවසුවේය.

සුවතා මධ්‍යස්ථාන මගින් රෝග හදුනා ගැනීමේ කටයුතු සිදු කිරීම පමණක් නොව ආයුර්වේද දෙපාර්තමේන්තුව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ක්‍රීඩා අමාත්‍යංශය ඇතුලු ආයතන කිහිපයක සම්බන්ධීකරණයයෙන් යෝගා, තෙරපි ආදී ශාරීරික ක්‍රියාකාරකම් හදුන්වාදීම අපේක්ෂා කරන බව ද ඒ මහතා කීවේය.

රෝග වලට ප්‍රතිකාර කිරීම වෙනුවට රෝග කලින් හදුනා ගැනීම, හදුනා ගත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම, ප්‍රතිකාර කටයුතු නිසි අයුරින් සිදුවන බවට පසු විපරම් සිදු කිරීම,  අවශ්‍ය පරිදි ඉහළ ප්‍රතිකාර සඳහා යොමු කිරීම ඇතුලුව පුරවැසියන් වැඩි කාලයක් ජීවත් කරවීමට අවශ්‍ය කටයුතු සලසන බව ද අමාත්‍යවරයා පැවසීය.

මෙම ස්ථානයේ ලියාපදිංචි කරන පුරවැසියන් සඳහා විද්‍යුත් ලියාපදිංචියක් (Electronic Health Record) හිමිවන බවත් එමගින් ඔහුගේ රෝග වාර්තා සියල්ල ජංගම දුරකථනයට ලබා ගැනීමේ පද්ධතියක් දක්වා මෙම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන ක්‍රමය දියුණු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තව දුරටත් ප්‍රකාශ කළේය.

සිරිමල්වත්ත, බෝධිඝර විහාරාධිපති මැදදුම්බර ප්‍රධාන සංඝනායක පූජ්‍ය කන්දේගම සුමනසාර හිමි ඇතුලු මහා සංඝරත්නය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්තී තනුර දිසානායක, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා සභාපති මංජුල ඉල්ලගොල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරී, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිහාල් වීරසූරිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සරත්චන්ද්‍ර කුමාරවංශ යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *