මන්නාරමේ හර්තාලයක් සහ දැවැන්ත උද්ඝෝෂණයක්!
අද සැප්තැම්බර් 29 වෙනිදා උදැසන 10 සිට දහවල් 1.00 දක්වා මන්නාරාම දිස්ත්‍රික්කය තුළ කඩ සාප්පු වසා දමා හර්තාලයක් ක්‍රියාත්මක වූ අතර, ඊට සමගාමිව දැවැන්ත උද්ඝෝෂණයක් ද පැවැත්විණි. විශාල ජන සහභාගීත්වයකින් දියත් වුණු එම උද්ඝෝෂණයට සහය දැක්වීම සඳහා කොළඹ ජන අරගල ව්‍යාපාරයේ සාමාජික සාමාජිකාවන් ද සමාජ ක්‍රියාකාරීන් සහභාගී වී සිටියහ.
දහවල් 1.00ට උද්ඝෝෂණ පා ගමන මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යල අසළින් අවසන් කළේය. මන්නාරම ජනතාව විසින් නැවතත් සිය ඉල්ලීම් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ අතර, ඔහුගේ පිළිතුර වූයේ , “එළඹෙන හෙට දිනයේ දී (30) පිළිතුරක් ලබා දෙනවා යන්නයි”.

එහෙත්, “සුළං බලාගාරයේ ඉඳිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාව ඉල්ලා සිටින පිළිතුර නොලැබෙන්නේ නම් තවදුරටත් සාමකාමි උද්ඝෝෂණය සහ හර්තාලය ක්‍රියාත්මක කරන බව” මන්නාරම පුරවැසි කමිටුවේ අනුශාසක ගරු මාකස් පියුමා මාධ්‍යට ප්‍රකාශ කළේය.
“බස් පිටින් මේ ජනතාව පසුගිය 19 වෙනිදා කොළඹට ගියා තමන් ගේ ජීවත් වීමේ අයිතිය ඉල්ලා සිටිමින්. ඒත් කොළඹ ලේකම් මහත්වරු එදා ඔවුන් ව රවට්ටලා එව්වා. ජනාධිපතිතුමාට වාර්තාවක් පෙන්වීමට තිබෙනවා ඒ රිපෝට් එක බලලා ඔබලාට සාධාරණයක් කරනවා කියා පැවසුවා. මොවුන්ගේ හඩට ඇහුම්කන් නොදී කිසිම සංවර්ධන කටයුත්තක් නොකර බවට ලේකම්වරු කොළඹ දී මන්නරාම ජනතාවට පැහැදිළිව පැවසූවේ යැයි,” අද උද්ඝෝෂණයට එක් වූ කොළඹ මහජන කවුන්සිලය ව්‍යාපරයේ පූජ්‍ය උල්පත වෑකදවල රාහුල හිමි පැවසූවේය.
පසුගිය සිකුරාදා රාත්‍රියේ සුළං ටර්බයින සහ අනෙක් උපකරණ රැගෙන යන අවස්ථාවේදි උද්ඝෝෂණයේ යෙදුණු කාන්තාවන්, පූජකතුමන් සහ තරුණයින් හට පොලීසිය ප්‍රහාරයක් දියත් කිරීම ගැන සමාව ඉල්ලා සිටිය යුතු යැයි මන්නාරම තරුණ පිරිසක් විසින් මෙහිදි පොලීසියට දැන්වූ නමුත් , පොලීසිය පාර්ශවයෙන් ඊට කිසිඳූ ප්‍රතිචාරයක් ලබා නොදුන් බව ද වාර්තා විය.

– මෙලනි මානෙල් පෙරේරා
