වැසිකිලවලට අධික මුදලක් වැය වන නිසා මහනුවර තරුණ ගැහැණු දරුවන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නේ නෑ – මොහොමඩ් ආසික්
මහනුවර නගරයේ ඇතැම් වෙළඳ සැල්වල සේවය කරන තරුණ ගැහැණු දරුවන් පොදු වැසිකිලි භාවිතා කිරිමට සිදු වන නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකරන බව පේරාදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි සහ නීතිඥ පාලිත සුබසිංහ මහතා සඳහන් කරයි.
ජාතික සාම මණ්ඩලයේ අනුග්‍රහය ඇතිව සුහද කාන්තා කාර්ය සංවිධානය ක්‍රියාත්මක කළ ප්‍රජා සහභාගිත්වය තුලින් අන්තර්කරණය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය යටතේ හඳුනා ගත් මහනුවර නගරයේ පොදු වැසිකිලි පද්ධතිය භාවිතා කිරීමේදී ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී අධිකරණ වෛද්‍ය නිලධාරි පාලිත සුබසිංහ මහතා මේ බව කීය.
සුහද කාන්තා කාර්ය සංවිධානයේ අධ්‍යක්ෂිකා ප්‍රසංගිකා සුදර්ශණි ධර්මවංශ මහත්මියගේ සංවිධායකත්වයෙන් මහනුවර කැප්පෙටිපොළ ශාලාවේදී මෙම සාකච්ඡාව පැවැත්විණ.
මහනුවර මහ නගර සභාවට අයත් මහනුවර පොදු වෙළඳ පොල වැසිකිලි පද්ධතිය, ඔරලෝසු කණුව අසල වැසිකිලි පද්ධතිය, ජෝර්ජ් ඊ ද සිල්වා වෙළඳ සංකීර්ණයේ පිහිටි වැසිකිලි පද්ධති දෙක, නාගරික රථගාල ඇතුලත පිහිටි වැසිකිලි පද්ධති තුන, මැණික්කුඹුර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වැසිකිලි පද්ධති දෙක සහ කටුගස්තොට ආයුර්වේදය අසල පොදු වැසිකිලි පද්ධතිය යන වැසිකිලි පද්ධති නඩත්තු කිරීම සඳහා 2022 වසරේ සිට 2027 වසර දක්වා රුපියල් 3,13,00,000 කට මහනුවර මහ නගර සභාව මගින් ටෙන්ඩර් ලබා දී තිබේ.
එසේ වුවත් වැසිකිලි පද්ධති නිසි ලෙස පිරිසිදු නොවීම , අය කරන මුදල වැඩි විම, කාන්තා වැසිකිලිවල සේවයට කාන්තාවන් නොමැති වීම ඒවා නිසි පරිදි පිරිසිදු නොවීම ඇතුළු ගැටළුවලට තමන් මුහුණ දෙන බව පොදු වැසිකිලි භාවිතා කරන ජනතාව පවසති.
කෙසේ නමුත් මෙම ටෙන්ඩරය ලබා ගත් ටෙන්ඩර්කරු වන ආර්.ඩබ්ලිව්. ධර්මවර්ධන මහතා පවසන්නේ මෙම පොදු වැසිකිලි පද්ධතිය ටෙන්ඩරය මගින් ලබා ගන්නා අවස්ථාවේ රුපියල් 20 ක මුදලක් අය කිරීමට එකඟ වුවත් ඉන් පසුව සියලු උපකරණ පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යවල මෙන්ම විදුලිය සහ ජල ගාස්තු ඉහළ යාම නිසාත් අමතර අප ජල බිල්පත් ගෙවිමට සිදු විම නිසාත් වියදම දරා ගත නොහැකි ආකාරයට ඉහළ ගොස් ඇති බවයි. ඒ නිසා පසුව කරන ලද ඉල්ලීමක් අනුව රුපියල් 30 ක මුදලක් අය කිරීමට එකඟතාවය පළ කළත් එයද ප්‍රමණවත් නොමැති බවත් ගාස්තුව රුපියල් 40 ක් දක්වා වැඩි කර දෙන්නේ නම් මහ ජනතාවට සපයන සේවාවන් තව දුරටත් වැඩි කළ හැකි බවත්ය. තව දුරටත් ඔහු සඳහන් කළේ මත් ද්‍රව්‍ය භාවිතා කරන්නන් වැසිකිලි තුලට වැදී මත්ද්‍රව්‍ය භාවිතා කිරිම නිසා සාමාන්‍ය ජනතාවට අපහසුතාවයක් ඇතිව ඇති බවයි. ඇතැම් වැසිකිලි පද්ධති කඩා බිඳ දමා ඇති බවද ඔහු කියයි.
විදුලිය ජල බිල් ගෙවීම අලුත්වැඩියාවන් කිරීමට අමතරව මසකට රුපියල් 49,000 ක පමණ අපජල බිලක් ගෙවීමටද සිදුව ඇති බව ටෙන්ඩර්කරු වන ධර්මවර්ධන මහතා තව දුරටත් පවසයි.
මෙහිදි අදහස් දැක්වූ පේරාදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි නිතිඥ පාලිත සුබසිංහ මහතා තව දුරටත් සඳහන් කළේ මහජනතාවට සනීපාරක්ෂක පහසුකම් ලබා දීම පළාත් පාලන ආයතනවල වගකීමක් බව පනතේ පැහැදිලිව සඳහන් වන බවයි. සනීපාරක්ෂක පහසුකම් ලබා දීම ආදායම් උත්පාදක ව්‍යාපෘතියක් කර ගැනීමට නීතියෙන් ඉඩක් නෑ. ලෝකයේ හැම රටකම සනීපාරක්ෂක පහසුකම් නොමිළයේම තමයි ලබා දෙන්නේ. මහනුවර නගරයේ විවිධ ආයතනවල කාන්තාවන් තරුණියන් දහස් ගණනක් සේවය කරනවා. ඔවුන් දිනකට හතර වතාවක් ගියොත් 120 ක් ගෙවන්න වෙනවා. මාසයකට කීයද? ඒ තරම් මුදලක් වැය කරන්න බැරි නිසා හුඟක් කාන්තාවන් සහ තරුණ ළමයි වතුර බොන්නේ නෑ. ඒ නිසා වෙනත් රෝග හැදෙන්න පුළුවන්. පිරිමි අය බෝතල්වලට මූත්‍රා කරල කාණුවලට හලනවා. මේව විශාල ගැටළු. මේ හැම එකම විසඳුම පොදු වැසිකිලි පහසුකම් නොමිළයේ ලබා දීමයි.මේ සඳහා මම සටනක් කර ගෙන යනවා. අපි මේ කාර්යය මුලින් මහනුවරින් පටන් ගන්නයි උත්සාහ කරන්නේ
අපි ඉස්සර පාසැල් යන කොට පාර අයිනේ ටැප් හයි කරල තිබුණා වතුර බොන්න.ශත පහක් ගත්තේ නෑ.වැසිකිලිවලට ශත පහක් ගත්තේ නෑ. මේ කිසි දෙයක් නගර සභාවෙන් නොමිළයේ දෙන්නේ නෑ. ප්‍රදේශයේ ජනතාවගේ සනීපාරක්ෂාවට වග කියන්න ඕන නගර සභාව. පොදු වැසිකිලි සඳහා නගර සභාවට මුදල් වියදම් කරන්න පුළුවන් කියල පනතේ තියෙනවා. පිරිසිදු කිරිම සඳහා සහ උපාංග මිළ දී ගැනීම සඳහා පමණක් යම් මුදලක් අය කරන්න පුළුවන් කියලයි තියෙන්නේ. මේ පනතේ අනුව වැසිකිලිවත් වාහන නවත්වන එකවත් ටෙන්ඩර් දාලා ආදායම් මාර්ගයක් කර ගන්න බෑ. පළාත් පාලන අයතන තියෙන්නේ ජනතාවට සේවය කරන්න මිස ඒක ලාභ ලබන ආයතනයක් නෙවෙයි. සුද්දගේ කාලයේවත් වැසිකිලිවලට බදු ගැහුවද? මහනුවර ජෝර්ජ් සිල්වා වෙළද සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාපාරික ආයතන රැසක් තියෙනවා එවාවල ගැහැණු දරුවන් විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. ඔවුන්ට ලොකු පඩියක් ලැබෙන්නේ නෑ.ඒ දරුවන්ට පුළුවන්ද මාසයකට මූත්‍රා කරන්න රුපියල් 3000 ක් වැය කරන්න.බෑ. මූත්‍රා කරන්න මුදල් අය කරන එක ලැජ්ජ නැති වැඩක්. මනුෂ්‍යෙයකුට පාලනය කරන්න බැරි ශාරිරික අවශ්‍යතාවයක් මුදල් තියෙනවනම් විතරයි කරන්න පුළුවන් කියල තියනවනම් ඒක ලැජ්ජ නැති වැඩක්නෙවෙයිද ඒ නිසා මේක නොමිළයේ ලබා ගන්න මම මේ සටන ගෙන යනවා යැයිද ඒ මහතා කීය.
