බත්තලංගුණ්ඩුව කලපුවේ කඩොලාන හදන   පරිසර හිතකාමියා – මොහොමඩ් ආසික්

ශ්‍රී ලංකාවේ වයඹ දිග මුහුදේ පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටියේ සිට කිලෝ මීටර් 40 ක් පමණ දුරින් පිහිටි බත්තලංගුණ්ඩුව දූපත මෙරට සුන්දරතම දූපත්වලින් ප්‍රධාන තැනක් ගන්නා දූපතකි. මෙම දූපතේ දැනට  ජීවත්වන සියලු දෙනාගේම ප්‍රධාන රැකියාව වන්නේ ධීවර කර්මාන්තයයි .  මීගමුව, පුත්තලම, කල්පිටිය, හලාවත ඇතුළු බොහෝ ප්‍රදේශවල සිට  පැමිණ ඇති  ධීවර කාර්මිකයින් තාවකාලිකව බත්තලංගුණ්ඩුව දූපතේ පදිංචිව සිටිමින් තම ජීවනෝපාය කරමින් සිටිති.

මෙය සාමාන්‍ය සිදුවීමක් වුවත් මෙම දූපතට දැනට වසර 40 කට පමණ පෙර පැමිණ ධීවර කර්මාන්තයේ යෙදී සිටින දැනට 65 වන වියේ පසුවන  ජේ.ඒ සුගතපාල මහතා බත්තලංගුණ්ඩුව කලපුවේ මත්ස්‍ය වර්ධනය වැඩි කර ගැනීම සදහා  පිළියමක් ලෙස කලපුව පුරා  කඩොලාන ශාඛය සිටු වීමට පියවර  ගෙන තිබේ.

කඩොලාන යනු විශේෂයෙන් කලපු ආශ්‍රිතව වැඩෙන සුවිශේෂ පරිසර පද්ධතියකට ශක්තිය දෙන ශාඛ විශේෂයකි. කඩොලාන ශාඛ වැඩීම එම ප්‍රදේශයේ මත්ස්‍ය වර්ධනයට පිටිවහලක් සපයයි.  ඒ  නිසාම  බත්තලංගුණ්ඩුව දූපතේ කඩොලාන වගා කිරිමට තමන් පෙළඹුන බව සුගතපාල මහතා අප සමඟ කීය. දූපතේ  බොහෝ පදිංචි කරුවන් ධීවර කර්මාන්තනයට මූලිකත්වය දී ඇති පසුබිමක පාරිසරික නැඹුරුවක් ඇති කරමින් කලපුව පුරා කඩොලාන සිටු වීමට සුගතපාල මහතා උත්සුක වී  තිබේ. බත්තලංගුණ්ඩුවට ගිය  පසුගිය දිනෙක පරිසරයට ඇළුම් කරන ඔහුගේ මෙම ක්‍රියාව  ගැන සැලවූ විගස අප ඔහු සොයා  ගියෙමු. සුගතපාල මහතා සිය කඩොලාන වගාව ගැන අප සමඟ දැක්වූ අදහස් මේ.

“ මම මේ වන විට කඩොලාන පැල 200 ක් විතර හිටවලා තියෙනවා.මොකද අපෙන් පස්සේ එන පරම්පරාවට බලා ගන්න  මාළු පැටියෙක් හරි කකුළු පැටියෙක් හරි බෝ වෙන්නේ මේ කඩොලානෙන්. අනෙක කලපු ඛාදනයත් අඩු වෙනවා.ඒ නිසයි මම මේක වගා කරන්න පටන් ගත්තේ. මට දැන් අවුරුදු 65 යි.තව කොච්චර කාලයක් ජීවත් වෙයිද දන්නේ නෑ. පස්සෙන් එන පරම්පරාවට  ප්‍රයෝජනවත් වන දෙයක් අපෙන් වෙන්න එපායැ. එහෙම හිතපු නිසයි අවුරුදු ගානක ඉඳල මම මේක හිටවලා තියෙන්නේ. කඩොලාන කියන ශාඛය කලපුවලට අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මාළු, කකුළුවන්, ඉස්සන් වගේ මත්ස්‍ය වර්ග බෝවීමට ඉඩ හැරීම සඳහායි.  පාංශු ඛාදනය වළක්වන්නයි තමයි මේක හිටවලා තියෙන්නේ.අපි නිකම්ම ඉඳල යනවට වැඩිය අපෙන් මොනව හරි ප්‍රයෝජනයක් තියෙන්න එපායැ.අපෙන් පස්සේ එන පරම්පරාව කියනවනේ මේ මනුස්සය මේක හිටෙව්ව කියලා. කිව්වත් නැතත් පස්සේ පරම්පරාවට මේක යනවනේ මට ඒ ඇති.අවුරුදු තුනකට විතර  පෙර ඉඳලයි මම මේ  කඩොලාන හිටවන්න පටන් ගත්තේ.සමහර වෙලාවට තෙප්පම්වලට අහු වෙලා කැඩිල යනවා. ඉතින් මං ආයේ ආයේ හිටනවනවා.මම මේක කලපුව පරා හිටවන්නත් උත්සාහ ගන්නවා.

මගේ උපන් ගම සඳලංකාව මම පොඩි කාලේ ඉඳලම පරිසරයට කැමැතියි.මම හැදුනෙම වෙරළකරේම තමයි. මම මේවා කරන්නේ පස්සේ එන පරම්පරාව ගැන හිතලයි. මම ගෙදරත්  පළතුරු වගේ වගාවන් කරල තියෙනවා. ඒකෙනුත් දැන් ඉන්න අය ප්‍රයෝජනය ගන්නවා. මට ඕන ඒකයි. අපේ පැරැණි මුතුන් මිත්තන් කියල තියෙනවනේ ගහක් කොළක් හිටෙව්වොත් ඒකේ ප්‍රයෝජනය පස්සේ එන පරම්පරාවට කියලා. ඒ ගැන   හිතල තමයි මම මේ වගේ පරිසර හිතකාමිව කඩොලාන හිටවන්නේ. මේ දූපතේ සියලුම දෙනාගේ රැකියාව ධිවර කර්මාන්තය. මුහුදේ මාළු නැති වුනොත් ඒ කර්මාන්තය කරන්න බෑ. ඉතින් මම මේ කරන  කඩොලාන හිටවිල්ලෙ සුළුවෙන් හෝ මාළු බෝවීම මගින් ඒ ධිවර කර්මාන්තයට යම් දායකත්වයක් ලබා දෙන්න හැකි වීම ගැන මම සතුටු වෙනවා යැයිද ජේ.ඒ.සුගතපාල මහතා තව දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *