මෙරට ඉංජිනේරු දැනුමින් නිපදවූ තෙවැනි නැනෝ චන්ද්‍රිකාවත් කක්ෂගත කෙරේ!

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වැනි නැනෝ චන්ද්‍රිකාව අද(19) පස්වරු 2.20ට කක්ෂගත කෙරිණි.

මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනය ප්‍රකාශ කළේ, ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” ලෙස නම් කර ඇති මෙම පර්යේෂණ චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදුකිරීමට නියමිත බවය.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාව කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් නොදැරීම විශේෂත්වයකි.

2019 සිට මෙරට ඉංජිනේරුවන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නැනෝ චන්ද්‍රිකා තුනක් නිර්මාණය වී ඇති අතර තෙවැනි නැනෝ චන්ද්‍රිකාව නම් කෙරුණේ ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” ලෙසය.

එම චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වැනිදා නාසා ආයතනය විසින් දියත් කරනු ලැබූ ස්පේස් එක්ස් – 33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙන ගියේය.

ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය හා ඩිජිටල් රේඩියෝ සන්නිවේදන ආයතනය යන ජාත්‍යන්තර ආයතන කිහිපයක සහයෝගීතාවය සහිතව, ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සහ ජපානයේ කියුෂූ තාක්ෂණ ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි.

අද කක්ෂ ගතවූ ”බර්ඩ්ස් – එක්ස් ඩ්‍රැගන්ෆ්ලයි” පර්යේෂණ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරනු ඇති.

2019 වසරේදී මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස “රාවණ – 1“ චන්ද්‍රිකාව නිර්මාණය වූ අතර දෙවන නැනෝ චන්ද්‍රිකාව වන්නේ 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශ්ව පහක සහභාගීත්වයෙන් යුත් තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කළ “කිට්සුනේ“ චන්ද්‍රිකාවය.

Copied: https://sinhala.adaderana.lk/news/214771
END/AdaDerana/MMP/19092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *