කඩවත – මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 – හිරුණි ලක්ෂිකා
ආර්ථික අර්බුදය හේතුවෙන් 2022 වසරේ මැද භාගයේ සිට අත්හිටුවා තිබූ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් කටයුතු සැප්තැම්බර් 17 වන දින නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කෙරෙන අතර, එහිදී කඩවත හුවමාරු මධ්‍යස්ථානය (Kadawatha Interchange Hub) සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500ක කොටසෙහි ඉදිකිරීම් ද ආරම්භ කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 8.6ක මුදලක් රජය විසින් වෙන්කර තිබෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනට අනුව, මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා චීන අපනයන-ආනයන බැංකුවෙන් (Export-Import Bank of China) අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබාගෙන තිබෙනවා.
එමෙන්ම, කඩවත සිට මීරිගම දක්වා දිවෙන කිලෝමීටර් 37ක දුරකින් යුතු මෙම මාර්ග කොටස 2028 වසරේ මැද භාගය වන විට සම්පූර්ණ කිරීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.
