අල්ලස් කොමිසමේ මූල්‍ය කළමනාකරණය ගැන අනාවරණයක්!
ස්වාධීන ආයතනයක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද, නැද්ද..? යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අයවැය ඇස්තමේන්තුව පිළිබඳ සාකච්ජා කිරීම සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබූ අවස්ථාවේදී අදහස් දැක් වූ හර්ෂ ද සිල්වා,
“මම දන්න විදියට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මූලික ප්රශ්නය තමයි ස්වාධීන කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද කියන එක. යමෙක්ට මූල්‍ය කළමනාකරණය පිළිබඳ ස්වාධීන බවක් නැත්නම් එතන කොතනද ස්වාධීන බව තියෙන්නේ කියන ප්රශ්නය මතුවෙනවා. මේගොල්ලන්ට තියෙනවා බලය කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ කියලා. ඒ නිසා අවශ්‍ය කාර්යමණ්ඩලය කවුද…? ඒක පත්කරන්න” යනුවෙන් කීහ.
තවද, එහිදී අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක ද පවසා ඇත්තේ, කොමිෂන් සභාව සඳහා ආවේණික කාර්ය මණ්ඩලයක් සකස් කිරීමට තිබුණද, වසර 2කට ආසන්න කාලයක් ගතවුවද තවමත් එය සිදුකර ගැනීමට නොහැකි වී ඇති බවි.
මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනවිරත්න ද මෙහිදී අදහස් දැක්වමින් සදහන්කර ඇත්තේ, “හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළ කරුණු අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මූල්‍ය කළමනාකරණය ස්වාධීනද නැද්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා ” යනුවෙනි.
