පනතට අනුව හිටපු ජනාධිපතිවරුන් තිදෙනෙකුට නිල නිවෙස් අහිමි වෙයි!

ඊයේ (10) දිනයේ දී සම්මත වූ “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව ඔවුන්ට එම වරප්‍රසාදය අහිමි වන අතර, හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන් මේ වන විටත් ඔවුන් ලද නිල නිවාස භාවිත කරනු ලබයි.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (11) දිනයේ නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව ද වාර්තා වේ.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සිය නිල නිවෙස් රජයට භාරදීමට කටයුතු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

යම් හෙයකින් අදාළ නිල නිවෙස් භාරදීමට කටයුතු නොකළහොත් ලිඛිතව ඒ පිළිබඳව දැනුම්දිමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළ අතර , “ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ” පනතේ විධිවිධානයන් අනුව ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව  අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම පනත අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවය.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට අදාළ ඡන්ද විමසීමේ දී පක්ෂව ඡන්ද 151ක් සහ විපක්ෂව එක් ඡන්දයක් හිමිවුණි.

ඒ අනුව වැඩි ඡන්දයෙන් සම්මත වූ අදාළ පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අත්සන් තබා පනතක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මෙම පනත බලාත්මක වීම ආරම්භක දින සිට හිටපු ජනාධිපතිවරයෙකුට හෝ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹූවට සපයන ලද නිවසක් හෝ ගෙවන ලද යම් මාසික දීමනාවත්, මාසික ලේකම් දීමනාව සහ නිල ප්‍රවාහන සහ වෙනත් සියලු පහසුකම් මෙන්ම වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ද අහිමි වනු ඇත.

END/MMP/11092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *