සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ප්‍රධාන සගයෙක් අත්අඩංගුවට
අද දෙරණ අන්තර්ජාල පුවතකට අනුව, ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට පත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායක “පානදුර නිලංග” නැමැත්තාගේ අපරාධ සඳහා ආධාර අනුබල දුන් දෙදෙනෙකු T-56 ගිනි අවියක්, මැගසිනයක්, පතුරම් 30 ක්, සහ යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර අපරාධ කොට්ටාශවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ “ඇඹිලිපිටිය සුරංග” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙකු සහ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පළමු සැකකරු වන ඇඹිලිපිටියේ සුරංග නැමැත්තා පානදුර අරුක්ගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අරුගොඩ ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිට ඇති බව පොලීසිය පවසා ඇත.
වැඩිදුර පරීක්ෂා කිරීම් හමුවේ අනාවරණය වී ඇත්තේ මෙම යතුරුපැදිය පානදුර, හිරණ, මාලමුල්ල සහ මාදුපිටිය ප්‍රදේශයේ වෙඩිතැබීම් සඳහා යොදාගත් යතුරුපැදියක් බවට හඳුනාගෙන ඇත.
මීට අමතරව එම සැකකරු “පානදුර නිලංග” නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා යතුරුපැදී ලබාදීම, වෙඩි තැබීම් සඳහා සැලසුම් කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයෙකි.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී “පානදුර නිලංග” නමැත්තා සිදුකළ වෙඩි තැබීම් සම්බන්ධයෙන් භාවිතා කළ ගිනිඅවි හොරණ, බටුවිට ප්‍රදේශයේ නිවසක සඟවා ඇති බවට තොරතුරු හෙළිව ඇත. එම නිවස පරීක්ෂා කිරීමේදී එහි අල්මාරියක සඟවා තිබූ T-56 වර්ගයේ ගිනි අවියක්, එම මැගසිනයක් සහ පතුරම් 30 ක්, මෙම වෙඩි තැබීම් සඳහා දුරකථන සන්නිවේදන සඳහා භාවිතා කළ ජංගම දුරකථන 07ක් ද සොයාගැනීමට හැකිව තිබේ.
සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලීසිය පවසයි.
