බිත්තර අඩුයි – බිත්තර කෑමවල මිලත් අඩුකරන්න – හිරුණි ලක්ෂිකා

බිත්තර මිල වැඩිවන විට බිත්තර ආනයනය කරන ලෙසට පවසන බේකරි සහ ආපනශාලා හිමියෝ බිත්තර මිල පහළ බැස ඇති විට එහි වාසිය පාරිභෝගිකයන්ට ලබා නොදෙන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. අලහකෝන් පවසනවා.

වසරක පමණ සිට බිත්තර මිල අඩුවී තිබෙන අතරේ ඊට සාපේක්ෂව බිත්තර ආශ්‍රිතව නිෂ්පාදනය වන ආහාර ද්‍රව්‍යවල මිල අඩුවී නොමැති බවට බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කර සිටිනවා.

ඒ අනුව කේක්, බිත්තර පාන්, පේස්ට්‍රි ඇතුළු ආහාරවල මිල ගණන් අඩුවිය යුතු බව ඩී. ආර්. අලහකෝන් පවසා සිටිනවා.

බිත්තර මිල අඩුවීමට හේතුවී ඇත්තේ අධික ලෙස මව් සතුන් ගෙන ඒමත් සමඟ නිෂ්පාදනය ඉහළ යෑම බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට බිත්තර මිල කඩා වැටීමක් වාර්තා වන අතර ගොවිපළෙන් බිත්තරයක් රුපියල් 24-25 වැනි මුදලකට වෙළඳපොළට නිකුත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වන විට රට බිත්තර වලින් ස්වයංපෝෂිත වී තිබුණද බිත්තර නිෂ්පාදකයින් අඛණ්ඩව අර්බුදවලට මුහුණ දෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *