වික්ටෝරියා ජලාශයේ සිත් පිත් නැති ජල කඳ බිලිගත් විද්‍යාර්ථ විදුහලේ කවීෂ ( මොහොමඩ් ආසික්)

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාය උසස් ලෙස සමත්ව උසස් පෙළ ගණිත අංශයෙන් වැඩි දුර අධ්‍යාපනය හැදෑරීම සඳහා පෙර මඟ බලා සිටි  මහනුවර විද්‍යාර්ථ විදුහලේ ශිෂ්‍ය කවීෂ නියංගොඩ (17) ශිෂ්‍යයා හිත් පිත් නැති වික්ටෝරියා ජලශයේ ජල කඳට බිලි වීමේ ශෝක ජනක පුවත නිසා මුළු ප්‍රදේශයම කම්පාවට පත්ව තිබේ.

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කවීෂ නියංගොඩ ශිෂ්‍යයා ඇතුළු සිසුන් 52 කු පාසැලේ ගුරුවරුන් දෙදෙනෙකුද සමඟ   තෙල්දෙණිය බඹරගල ප්‍රදේශයේ කඳු තරණය සඳහා පසුගිය සිකුරාදා ගොස්  ඇති අතර කඳු තරණය අවසන්ව  පැමිණි කවීෂගේ මෙන්ම ඔහුගේ දෙමාපියන්ගේද අහිංසක බලාපොරොත්තු සියල්ල  වික්ටෝරියා ජලාශය සෙනරත්වෙල ප්‍රදේශයේ දී  ජල රකුසා ගිල ගෙන ඇත්තේ නිමේෂයකිනි.

.

මහනුවර නුගවෙල පදිංචි කවීෂගේ මෙම හදිසි වියෝව නිසා  මුළු ප්‍රදේශයම කම්පානට පත්ව තිබේ. පවුලේ එකම දරුවා වූ කවීෂගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ඔහුගේ පියා වන ශාන්ත කුමාර නියංගොඩ මහතා දුක වාවාගත  නොහැකිව සිටියදී පවා  අප සමඟ ප්‍රකාශ කළ වදන් කිහිපය මෙසේ සටහන් කරමු.

“ පුතා ඉතා දක්ෂ දරුවෙක් ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත් වෙලා  මාස කිහිපයක්  නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයට ගොස් පසුව විද්‍යාර්ථ විද්‍යාලයට ඇතුලත් වුණා.   මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ඒ සමාර්ථ හයක් බී සමාර්ථයක් සහ සී සමාර්ථ තුනක් ලබා ගෙන සාමාන්‍ය පෙළත් උසස් ලෙස සමත් වුණා.  තව මාසයකින් පමණ ආරම්භ වන උසස් පෙළ ගණිත අංශයට ඇතුලත් වෙන්න හුඟක් ආසාවෙන් හිටියේ. පසුගිය සිකුරාදා උදේ 6.15 ට විතර ගෙදරින් ගියේ පාසැලෙන් ගමනක් යාම සඳහායි. මටයි අම්මටයි වැඳලා  පුතා ඉතා සතුටින් තමයි ගෙදරින් ගියේ. නමුත් හවස් වන විට අපට ලැබුණේ පුතා ගැන නරක ආරංචියක්.   වික්ටෝරියා ජලාශයේ මෙම ස්ථානය නාන ස්ථානයක් නෙවෙයි කියලයි කියන්නේ. අපේ එකම පුතා අපට නැති වුණා. නමුත්  මල් වගේ දරුවන්ට මින් ඉදිරියට මේ වගේ  අනතුරු නොවෙන්න පාසැල්වලින් සංවිධානය කරන ගමන්වලදී ජල පැත්ත සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕන. ගුරුවරු විදුහල්පතිවරු මේ ගැන  හොයල බලන්න ඕන. අනතුරක් වුණාට පස්සේ ඒක නැවත හදන්න බෑනේ.

මහනුවර විද්‍යාර්ථ විදුහලේ දීප්තිමත් සිසුවකු වූ කවීෂ විද්‍යාලයේ රගර් ජූඩෝ ඇතුළු ක්‍රීඩාවන් රැසකටම සහභාගි ව ඇති බවත් විද්‍යාලයේ  ශිෂ්‍ය නායකයෙකු වශයෙන් කටයුත කරන බවත් ඔහුගේ පියා පවසයි

මෙම අනතුර ආරංචි වූ වහාම එම ස්ථානයට ගිය මිය ගිය කවීෂගේ ඥාති සොහොයුරෙකු වන ප්‍රමිත හෙට්ටිආරච්චි(26) මහතා මෙසේ කීය. මට සිද්ධිය ආරංචි වෙලා පැය භාගයක් ඇතුලත මම එතැනට ගියා.ඒ වන විටත් පොලිස් ජිප් රියේ මල්ලිව රැගෙන එනවා. මම ඇහුවා මොකද කියල ප්‍රශ්නයක් නෑ වතුර ටිකක් පෙවිල කියලයි කිව්වේ. මල්ලිත් එක්ක තවත් ළමයි කීප දෙනෙක් වතුරට බැහැල තියෙනවා.    තවත් එක ළමයෙක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කරල තියෙන්නේ 1.30 ට විතර මෙයා පැය දෙකකට වඩා ගඟ ඇතුළේ ඉඳල තියෙනවා.  එතැනට යන කොට 3.50 ට විතර ඇති.

කවීෂගේ නැන්දණියක වන අප්සරා මැණික්දිවෙල මහත්මිය මෙසේ කීවාය.

“ කවීෂ කියන්නේ ප්‍රදේශයේ කා එක්කත් ඉතා හොඳින් හිටපු ළමයෙක්  හැම අංශයකටම දක්ෂ දරුවෙක්. ගායන කථික තරඟවලින් විශාල ජයග්‍රහණ ලබා ගෙන තියෙනවා. ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178 ක් ලබා ගෙන සමත් වුණා. මේ වගේ දරුවෙක් නැති වීම මුළු ප්‍රදේශයටම පාඩුවක්.‘

කවීෂගේ  නිවසට පැමිණ සිටි  ප්‍ර දේශවාසි බොහෝ දෙනෙකුම සඳහන් කළේ මෙවන් අනතුරු වළක්වා ගැනීම සඳහා වග කිව යුතු අය වගකීමෙන් වැඩ කළ යුතු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *