ඇල්ල බස් අනතුර ඛේදවාචකයක්! ජීප් රථයක රියැදුරෙකු අත්අඩංගුවට!!

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 කිලෝමීටර කණුව අසලදී  ඊයේ (04) රාත්‍රීයේ බිහිසුණු බස් අනතුරක් සිදුවී ඇති අතර, ම‌ෙි වන විට අනතුරින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව  වාර්තා වෙයි. බස් රථයේ ගමන් ගත් පිරිසෙන් එක් කාන්තාවක්  පිළිබදව තවමත් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී ඇති බව ද වාර්තා වෙයි.

තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙක්  අනතුරින් මිය ගොස් ඇති පුද්ගලයින් අතර සිටිති.

එමෙන්ම, පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසු පරිදි, මෙම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු කාන්තාවන් 9 දෙනෙකු මිය ගොස් ඇත. පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු, කාන්තාවන් 5 දෙනෙකු, පිරිමි ළමුන් 3 දෙනෙකු සහ ගැහැනු ළමුන් 2 දෙනෙකු ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

එමෙන් ම, බස් රථයේ පිරිස මුදා ගැනීම සඳහා සහය වූ පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත. ඒ ආකාරයෙන් අනතුරින් තුවාල ලැබූ 18 දෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය පැවසීය.

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව,ගිනිනිවීමේ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ප්‍රදේශවාසින් මහත් පරිශ්‍රමයක් දරා තිබුණි.

මෙි අතර,  මෙම ඛේදවාචකයට මුහුණ දුන් බස්රථය හා ගැටී ඇති ජීප් රථයක රියදුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

“බස් රථය ඇල්ල දෙස සිට වැල්ලවාය දෙසට ධාවනය කරමින් තිබිය දී, ඉදිරියෙන් පැමිණි ජීප් රථයක ගැටී ප්‍රපාතයට පෙරළී තිබෙනවා.  අනතුර සම්බන්ධයෙන් අදාළ ජීප් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගත්තා.” යැයි පොලීසිය පැවසීය.

අනතුරට පත් බස් රථය, ඉදිරියෙන් පැමිණි ජීප් රථයක සහ මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1,000ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලිසිය පැවසීය.

පිංතූර – අන්තර්ජාලයෙන්   –   END/MMP/05092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *