කෙහෙල්බද්දර පද්මේ සතු මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ගැන අනාවරණයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකදී දැනට අත්අඩංගුව‌ෙි පසුවන කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ සිදුකරන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක තොරතුරු අනාවරණය වී ඇති බවත්, ඔහු විසින් මෙරට තුළ පවත්වාගෙන ගිය බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයේ සේවය කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් දෙදෙනෙකු සිට ඇති බවටත්  තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පැවසීය.

අද (04) පෙරවරුවේ කුරුඳුවත්ත නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු අනාවරණය කළේය.

“දීර්ඝ කාලයක් මේ රටේ අපරාධ සංස්කෘතියක් වර්ධනය වෙලා තිබුණා. ඒ සංස්කෘතිය තුළ නිර්මාණය වූ ක්‍රියාකාරකම් තමා මෑතකදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් මගින් හෙළිවෙලා තියෙන්නේ. මේ වෙද්දී මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් ක්‍රියාත්මක කිරීම සඳහා පාකිස්තානු ජාතිකයින් ගෙන්වාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අත්අඩංගුවට ගත්ත අපරාධ කල්ලි සාමාජිකයින් යම් යම් අනාවරණයක් සිදුකරමින් තිබෙනවා දේශපාලනඥයින් ඔවුන් හදා වඩාගෙන ඔවුන් හා සබඳතා පවත්වමින් ඔවුන්ගේ කාර්යයන් ඉටුකරගත් ආකාරය ගැන”.

මෙම තොරතුරු පිළිබඳව ගැඹුරු සහ විදිමත් විමර්ශන හරහා සනාථ කරගත යුතු බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශන ගැඹුරින් සිදුකරමින් පවතින බව ඇමතිවරයා පැවසීය. 

මේ අතර කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් යොදවා ඇති බවත්, ඊට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවටත් තොරතුරු හෙළිවී තිබේ.  ඒ සඳහා අවශ්‍ය කරනු ලබන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් වාර්තා වෙයි.

END/MMP/04092025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *