කාන්තාවකගේ ඒටීඑම් කාඩ් පත සොරා ගෙන 1,90,000 ක් බැංකුවෙන් අර ගෙන (මොහොමඩ් ආසික්)

කටුගස්තොට ප්‍රදේශයේ දී බස් රථයක ගමන් කළ කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබූ ඒටීඑම් කාඩ්පතින් රුපියල් 190,000 ක ( එක්  ලක්ෂ අනූ දහසක) මුදලක් බැංකුවකින් ලබා ගත් බව කියන සැකකරුවන්  දෙදෙනෙකු කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

 මෙම කානන්තාව බස් රථයේ ගමන් ගන්නා අතර තුර මුදල් පසුම්බිය සොරා ගෙන තිබිණ.  තම මුදල් පසුම්බිය නොමැති බව දැන ගත් කාන්තාව ඒ සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය සොරා ගත් මුදල් පසුම්බිය කටුගස්තොට මුස්ලිම් සුසාන භූමිය අසල දමා තිබියදී සොයා ගෙන තිබේ. කෙසේ නමුත් එම මුදල් පසුම්බියේ තිබූ ඒටීඑම් කාඩ්පත සහ රුපියල් 2000 ක මුදල්ද එහි තිබී නැත. ඒ වන විට එම කාඩ් පත උපයෝගි කර ගෙන නගරයේ බැංකුවකින් රුපියල් 1,90,000 ක මුදලක් මෙම සැකකරුවන් විසින් ලබා ගෙන තිබිණ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මෙම මුදල් පසුම්බිය සොරකම් කර එහි තිබූ කාඩ් පතින් මුදල් ලබා ගත් සැකකරුවන් හඳුනා ගෙන එම දෙදෙනාගෙන් එක් අයෙකු   බස් රථයක් තුලදීද අනෙක් දැකකරු  කටුගස්තොට නගරයට ආසන්න ප්‍රදේශයකදීද අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන්  මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සි.රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.එස්.බණ්ඩාර මහතා සමඟ උප පොලිස් පරීක්ෂක දමයන්ත, සැරයන් 2599 අමරසිංහ 47059 නාමල්ආරච්චි, 39975 අජිත්  යන මහතුන් ඇතුළු නිලධාරින් මෙම  මෙම සැකකරුවන් අත් අඩංගුවට ගත්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *