පියා අහිමිකරවූ දියණියකගෙන් ජනාධිපතිවරයාට ආයාචනයක්!
කුමන හෝ හේතුවක් මත “බලහත්කාරය යන ක්‍රියාව” නිසා ලංකාවේ පියවරුන් අහිමි දරුවන් ද, ස්වාමිපුරුෂයින් අහිමි බිරින්දෑවරුන් ද, පුතුන් අහිමි දෙමාපියන් ද සහෝදරයින් අහිමි සහෝදර සහෝදරියන් ද දහස් ගණනක් ජීවත් වෙති. දේශපාලනමය හේතුන් මත දකුණේ ත්‍රස්තවාදය , උතුරේ ත්‍රස්තවාදය හේතුවෙන් යැයි බලහත්කාරයෙන් අතුරුදහන්කර ඇති ජීවිත දහස් ගණනක් අතරේ කිසිම හේතුවකට බැරකළ නොහැකි ලෙස අතුරුදහන්කර ඇති ජීවිත ද රාශියක් වෙති. එවැනි ජීවිත අතරින් අනුරාධපුරයේ මධූෂ්ක හරිස් ද සිල්වා යනු මීට වසර 12කට පෙර අද වැනි දිනයක අතුරුදහන්කරවූ තවත් එක් පියෙකි. “මම අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අපි වගේ තාත්තාලා අහිමි ළමයින්ට කියන්න අපේ තාත්තාලාට මොකද වුණේ. මින්පසුව ළමයිට තාත්තලාව අහිමි නොවෙන්න පියවර ගන්න කියලා.” ඒ මධූෂ්ක හරිස් ද සිල්වාගේ දියණියයි.
අද සැප්තැම්බර් 02 වන දා, සවස, රාත්‍රී ආහාර ගෙනඑමින් සිටී තම ආදරණීය පියාව සුදුවෑන් රථයකින් පැමිණි යම්කිසි කණ්ඩායමක් විසින් පැහැරගෙන ගොස් වසර 12ක් ගත වී ඇති බවත්, පියා පිළිබඳව තවමත් කිසිදූ තොරතුරක් නොලැබූ අතර කෙදිනකවත් තමන් සහ සිය සහෝදරයා පියාව දැක නැති බවත් රනුල්‍යා හංසනී ද සිල්වා ප්‍රකාශ කළේය.
“අපි තාත්තාව කිසිම දිනෙක දැක නැත්තේ, එදා තාත්තාව බලහත්කාරයෙන් පැහැරගෙන යනකොට මමත් මල්ලීත් අම්මාගේ කුසේ ජීවත්වුණේ. අපි ඡායාරූප වලින් විතරයි තාත්තාව දැකල තියෙන්නේ” ඒ රනුල්‍යාගේ බිදුණු හඩ ය.

රනුල්‍යා ද සිය නිවුන් සොයුරා ද මව සමග අනුරාධපුර පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවතී නිහඩ උද්ඝෝෂණයක දී
“ත්‍රීවීලර් එකක ගෙදර එමින් හිටපු මගේ තාත්තාවත් තවත් මාමාලා දෙන්නෙක්වයි තමයි සුදුවෑන් එකේ ආපු කණ්ඩායම හෑන්ඩ්කප් දාලා අරගෙන ගිහිං තියෙන්නේ කියලා අම්මා අපිට කිව්වා. නමුත් දවස් දෙකකට පස්සේ අනික් මමාලා දෙන්නා ආපහු ඇවිත් තිබුණත් අපේ තාත්තා ඇවිත් නැහැ.” යැයි රනුල්‍යා කීවෙිය.
“අනුරාධපුර හන්දියට ආසන්නයේ තවත් අය බලාගෙන ඉන්නැද්දි තමයි තාත්තලාව මෙහෙමෙ පැහැරගෙන ගිහිං තියෙන්නේ. තාත්තා එන්න ප්‍රමාද වුණු නිසා අම්මා තාත්තාට කෝල් කළාම එක වතාවක් හලෝ කිව්වාට හරියට කථාකරලා නැහැ. අම්මට ඇහිලා තියෙනවා කවුරුහරි ත්‍රීවීල් එක නවත්වන්න කියලා සැරෙන් කියනවා. එච්චරයි.”
තව දුරටත් රනුල්‍යා පැවසුවේ, “එදා ඉඳලා අද වනතුරු මටත් අය්යාටත් තාත්තා නැහැ. ඇත්තටම අපේ ආදරණීය තාත්තාට මොකද වුණේ කියලා අපි කවුරුත් තාම දන්නේ නැහැ. මටත් අය්යටත් තාත්තාව ගොඩාක් දැනෙනවා. අපේ යාලුවන්ගේ තාත්තලා ස්කොලෙට ඇවිත් එයාලව එක්කගෙන යනවා.ඔවුන් විහිළු කරනවා, ආදරය කරනවා, නමුත් අපිට එහෙම කරන්න, අපි දෙන්නාව එක්ගෙන යන්න අපේ තාත්තා අපිට නැහැ. හරිම දුකයි. අම්මත් මමත් අය්යත් ගොඩාක් දුකෙන් ජීවත්වෙන්නේ.” යනුවෙන් සිය පියාගේ අතුරුදහන් කාලසීමාව හා සමාන වයසින් යුතුවූ රනුල්‍යා පැවසුවෙි ඉතාම දුක්බරවය.
“මගේ අම්මා මයුරි ඉනෝකා, අපිට අම්මා කියලා තියෙනවා, අපි ඉපදුණු කාලේ ඉඳලා හැම අවුරුද්දේම සැප්තැම්බර් 02 දා අනුරාධපුරේ හරි කොළඹ හරි එක එක තැන්වලට ගිහිං උද්ඝෝෂණය කරනවා කියලා. අපි ලොකුවෙන කොට එහෙම ගියා කියලා මට හොඳට මතකයි. ඒ උද්ඝෝෂණ වලදි ගොඩක් අය අපට උදව් කළා. තාත්තාව හොයාගන්න අම්මා එක්ක ඒ අය ගොඩාක් මහන්සි වුණා. නමුත් තාමත් අපිට අපේ තාත්තාව හමුවුණේ නැහැ” යනුවෙන් රනුල්‍ය ඉතාම දුකෙන් ප්‍රකාශ කළේය.
රනුල්‍යා ද සිය නිවුන් සොයුරා ද මව සමග එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පැමිණ“ඒ නිසා, මම අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, අපි වගේ තාත්තාලා අහිමි වුණු ළමයින්ට කියන්න, අපේ තාත්තාලාට මොකද වුණේ කියලා. අපිට ඔීනේ අපේ තාත්තලාට මොකද වුණේ කියල දැනගන්න. මීට පස්සේ අපි වගේ ළමයිට තාත්තලාව අහිමි නොවෙන්න පියවර ගන්න කියලා ඉල්ලා සිටිනවා.” යැයි රනුල්‍යා ජනාධිපතිතුමා වෙත ආයාචනය කළේය.
එසේම, අතුරුදහන් වූ ස්වාමිපුරුෂයෙකු වන මධුෂ්ක හරිස් ද සිල්වාගේ තරුණ බිරිඳ වන මයුරි ඉනෝකාව ද, 2014 නොවැම්බර් 01 වන දින පැහැර ගන්නා ලදී. මයුරිට අනුව, ඇයව පැහැරගත් අය ඇගේ සැමියා නැවත ලබා ගැනීම සඳහා කිසිදු ක්‍රියාකාරකමක නිරත නොවන ලෙස ඇයට තර්ජනය කළහ. ඇය සමඟ සාමකාමී ජීවිතයක් ගත කරමින් සිටි පැහැරගත් තම ආදරණීය සැමියාට “යුක්තිය ඉටු කිරීමට” මයුරි ඇගේ උත්සාහය අත්හැර නැති බව ඇය කීවේය.
මධුෂ්කට මොකද වුණේ කියල ඇත්ත දැනගන්න වගේම, ජිවත්වීමට දැඩි සටනක් ගෙනයන මටත් , මම වගේම ස්වාමියා පැහැරගෙන ගොස් සිටින ජීවිත වඩාත් අසීරුව ගෙනයන සියලුම දෙනා වෙනුවෙන් මම ගරු ජනාධිපතිතුුුුුුුමාගෙන් ඉතාම කාරූණීකව ඉල්ලා සිටිනවා, අප සියලුම දෙනාට යුක්තිය ඉටුකරන්න! මෙි බලහත්කාරය නැවත ලංකාවේ සිදුනොවෙන්නට පියවර ගන්න කියා.” යැයි මයුරි ඉනෝකා පැවසීය.
සටහන සහ ඡායාරූප – මෙලනි මානෙල් පෙරේරා
