රනිල් ගේ සෞඛ්‍ය තත්වය ගැන ප්‍රකාශ නිකුත් කළැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට විනය පරීක්ෂණ –  මොහොමඩ් ආසික්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ  නිකුත් කළ බව කියන ජාතික රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂවරයෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

අද 27 වනදින පැවැති මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි  මහතා මෙසේද කීය.

මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරන අය ගත්තහම රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්වය ගැන ප්‍රකාශ නිකුත් කරල තිබුණා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙක්. ඔහුට එහෙම නිවේදන නිකුත් කරන්න කිසිම අයිතියක් නෑ. එයාගේ අංශයේ නෙවෙයි ඒ මහත්මයා ඇතුලත් වෙලා හිටියේ. රෝහලට රෝගියෙකු ආවහම හැම රෝගියෙක්ම  අපට රෝගියෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට අපි උපරිම දෙය කරනවා ඔවුන් සුවපත් කරන්න .ජාතික රෝහලේ ඔය කියන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කරල තියෙන්නේ ඔහුට අයිති නැති දෙයක්. ඒකට අනිවාර්යෙන්ම පරීක්ෂණයක් කරන්න ඕන.  රෝගියෙකුගේ තොරතුරු ජනමාධ්‍යයට දීමට කිසිදු අයිතියක් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකුට නෑ. ඔහුගේ ක්‍රියාකලාප නීත්‍යානුකූලත් නෑ සදාචාරාත්මකත් නෑ. මේ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම විනය පරීක්ෂණයක් සිදු කරන බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහිදී කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *